බිම් බෝම්බ ඉවත් කිරීමට නෝරවේ රජයෙන් ඩොලර් මිලියන 7 ක්

    March, 5, 2019

    ශ‍්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා NOK මිලියන 60 (ඇ.ඩො. මිලියන 7) ක් අවුරුදු තුනක කාලයක් ඇතුළත ලබාදීමට නෝර්වේ රජය තීරණය කර ඇත.

    ‘ශ‍්‍රී ලංකාව බිම් බෝම්බ හේතුවෙන් විශාල වශයෙන් පීඩා විඳ ඇත. නමුත් මේ වනවිට ශ‍්‍රී ලංකාවේ අරමුණ වන්නේ බිම් බෝම්බ වලින් තොර රටක් නිර්මාණය කිරීමය. මේ වසරේදී බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ සභාපතීත්වය දරන්නේ නෝර්වේ රාජ්‍ය විසින් වන අතර, අප ශ‍්‍රී ලංකාවට ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීමට සහය දීමට අපේක්ෂා කරනවා‘ යැයි විදෙස් කටයුතු ඇමතිනී ඉනේ මාරි එරික්සන් සොරෙයිඩි මැතිනිය පැවසීය.

    නෝර්වේ හි මෙම මූල්‍ය දායකත්වය පිළිබඳව නෝර්වීජියානු රාජ්‍ය ලේකම් මේරිඈන් හාගන් මැතිනිය විසින් ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන්නේ අද කොළඹදී පැවති හමුවකදීය. ජාතික සහ අන්තර්ජාතික සංවිධානයන්ගේ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාව පුළුල් ලෙසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන්වල යෙදී සිටී. 2018 දෙසැම්බර් වනවිට ශ‍්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කර ඇති භූමි ප‍්‍රතිශතය 94්‍ර කි. මේ කටයුත්තේදී ශ‍්‍රී ලංකා රජය යෙදී සිටිනා දැවැන්ත ප‍්‍රයත්නයට නෝර්වේ හි දායකත්වය වැදගත් වනු ඇත.

    ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙලේ වැදගත් කොටසකි. එමගින් තම නිවෙස් හැර යන්නට සිදු වූ පවුල් වලට ඉන්පසු නැවත පැමිණීමේ හැකියාව ලැබෙනවා‘ එරික්සන් සොරෙයිඩි මිය පැවසීය.

    බිම් බෝම්බ ඉවත් කිරීමට සහය දීම 1997 ඔස්ලෝ හිදී පිහිටවූ බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුම හරහා නෝර්වේ වෙත පැවරී ඇති වගකීමක්ද වේ. 2018 දී රටවල් 18 ක බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතීන්වලට NOK මිලියන 325 ක් රජය විසින් සපයා ඇත. මෙම ආධාර සැපයීම 2019 දීත් කරගෙන යනු ඇත.මෙයද නෝර්වේ හි නව මානවවාදී සැලසුම හා බැඳී පවතී.

    නෝර්වේ වෙතින් ලැබූ ආධාර දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බිම් බෝම්බ ඉවත්කිරීමේ සංවිධානයන් දෙකක් වන Mines Advisory Group (MAG) සහ HALO Trust හරහා ක‍්‍රියාත්මක කරනු ඇත. මානවවාදී බිම් බෝම්බ ඉවත් කිරීම හරහා නෝර්වේ හි ප‍්‍රධාන අරමුණ වන්නේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමය.