රජයේ ටෙන්ඩර්වලින් සියයට 10 ක් පොඩි අයට වෙන්කරයි

    March, 6, 2019

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදනය තුලින් ඒවාට වඩා හොඳ අවස්ථා ලබා දීම අවශ්‍ය වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (05) සිය අයවැය කතාව තුළින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව සියළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප‍්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් වෙන් කිරීමට හා මේ සඳහා ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය සංශෝධනයන් කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර සිටියේය.

    ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුවෙන් දැරිය හැකි වනු පිණිස මුළු වටිනාකමින් සම්පාදනය කරන ණය ප‍්‍රමාණය වැඩි කිරීමටත් කුඩා ට‍්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කිරීමටත් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.