ඩීමෝ සහ ඔලිම්පික් ටයර් හවුස් සබඳතාව තවත් සවිමත් වෙයි

    March, 25, 2019

    සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) MICHELIN ටයර් නිෂ්පාදන සඳහා නව ප්‍රදර්ශනාගාරයට අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඔලිම්පික් ටයර් හවුස් සමාගම සමග පැවති දශක දෙකක සාර්ථක සබඳතාව තවදුරටත් ශක්තිමත් කළේය.

    අංක: 128, ගාලු පාර, කොළඹ 04 යන ලිපිනයෙහි ස්ථාපිත මෙම නව ඔලිම්පික් ටයර් හවුස් ශාඛාව MICHELIN සන්නාමයෙන් එන පූර්ණ ටයර් නිෂ්පාදන පෙළ පාරිභෝගිකයාට ලබාදෙන අතර ම වෘත්තීය මට්ටමේ සේවාවක් ද ලබාදෙයි.

    ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, විධායක අධ්‍යක්ෂ අසංග රණසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න, සාමාන්‍යාධිකාරී රොෂාන් සේරසිංහ සහ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් සෝමරත්න යන මහත්වරුන් මෙන්ම ඔලිම්පික් ටයර් හවුස් සමාගමේ නියෝජිතයන්, පාරිභෝගිකයන් සහ සුබපතන්නන් ඇතුළු විශාල පිරිසක් මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

    මෙම නව ප්‍රදර්ශනාගාරය පිළිබඳ අදහස් පළ කරමින් ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ, සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ලොව විශිෂ්ටත ම සන්නාම ලබාදීම සඳහා අලෙවි නියෝජිතයන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බවය. "අලෙවි නියෝජිතයන් අපගේ ප්‍රධානත ම පාර්ශ්වකරුවෙකු ලෙස අප හඳුනාගෙන තිබෙනවා. අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණික ප්‍රතිපාදන සමගින් අලෙවි නියෝජිතයන් සවිබල ගැන්වීමට අප කටයුතු කරනවා"

    නව ඔලිම්පික් ටයර් හවුස් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමග ඩීමෝ සමාගම පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා දක්වන කැපවීම සහ MICHELIN සන්නාමයේ සැමට ගරුත්වය දැක්වීමේ දැක්ම ද තවදුරටත් තහවුරු වේ. MICHELIN සන්නාමය සමග ඇති සබඳතාව හරහා මෙරට අලෙවි නියෝජිතයන්ගේ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කිරිම සඳහා ඩීමෝ සමාගම දක්වන කැපවීම මෙන්ම ඩීමෝ සමාගම සහ ඔලිම්පික් ටයර් හවුස් සමාගම අතර ඇති කීර්තිමත් සහ විශ්වසනීය සබඳතාව ද මැනවින් පිළිබිඹු කිරීමට මෙම නව ප්‍රදර්ශනාගාරය සමත්වේ.

    1961 වසරේ පටන් කොළඹ නගරයේ ප්‍රමුඛ පෙළේ ටයර් අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ඔලිම්පික් ටයර් හවුස් සමාගම, දශක හයක කාලයක් පුරා ශාඛා දෙකක් ඔස්සේ පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික පිරිසකට සේවා සපයන කීර්තිමත් ටයර් අලෙවි නියෝජිතයෙකු බවට සිය නාමය සනිටුහන් කිරීමට සමත්ව සිටී.

    ඩීමෝ සහ ඔලිම්පික් සබඳතාව 1997 වසරේදී ආරම්භ වූ අතර එතැන් සිට ඩීමෝ සමාගම සමග ඇති සබඳතාව වඩාත් ඵලදායී ලෙස ශක්තිමත් කර ගැනීමට එම සමාගම කටයුතු කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක මෙන්ම ඔලිම්පික් ටයර් හවුස් පවුලේ තුන්වන පරපුර නියෝජනය කරන සාමාජිකාවක ද වන ඔෂානි වීරක්කොඩි නව ශාඛාවේ කළමනාකරණ කටයුතු සිදුකරයි.

    "මෙම නව ටයර් ප්‍රදර්ශනාගාරය අප සමාගම සහ ඩීමෝ සමාගම අතර ඇති සබඳතාව තවදුරටත් පුළුල් කරන බවත් සියලු පාර්ශ්ව සඳහා ප්‍රතිලාභ හිමිකර දීමට මෙම නව ප්‍රදර්ශනාගාරය සමත්වනු ඇති බවත් අපගේ විශ්වාසයයි. ඩීමෝ වැනි කීර්තිමත් සමාගමක විශ්වාසය දිනාගැනීමට හැකිවීම පිළිබඳ අප ආඩම්බර වනවා" යනුවෙන් ඔෂානි වීරක්කොඩි මිය සඳහන් කළාය.

    දේශීය ටයර් වෙළඳපලේ විවිධ පාරිභෝගික කාණ්ඩ ඉලක්ක කර ගනිමින් MICHELIN නිෂ්පාදන ප්‍රදර්ශනය කරන මෙම නව ප්‍රදර්ශනාගාරය ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දක්වා ඇති එකම ටයර් ප්‍රදර්ශනාගාරය ද වෙයි.

    පාරිභෝගිකයන් සඳහා සුහදශීලි සේවාවක් ලබාදීමට එම ප්‍රදර්ශනාගාරය නවීන මෙවලම් සහ පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්ගෙන් ද සමන්විත වෙයි. තවද, පෙ.ව. 8 සිට ප.ව. 7.30 දක්වා සඳුදා සිට සෙනසුරාදා දක්වා  විවෘතව තැබීම ද විශේෂත්වයකි.

    ඩීමෝ සමාගම යතුරුපැදි, මෝටර් රථ, SUV සහ ට්‍රක් රථ හා බස් රථ ටයර් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු MICHELIN ටයර් අලෙවිකරණ කටයුතු සිදුකරයි. MICHELIN සන්නාමය මෙරට පාරිභෝගිකයන් අතට පත්වන්නේ ඩීමෝ සමාගමේ විශ්වාසය සහ අසමසම අලෙවියෙන් පසු සේවාව සමගිනි.

     

    සේයාරූ සටහන: විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඩීමෝ සහ ඔලිම්පික් ටයර් හවුස් සමාගම්වල කළමනාකාරිත්වය