හොරණට ඩොලර් මිලියන 50 ක ආයෝජනයකින් නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් – ඇමති මලික් කියයි

    March, 27, 2019

    හොරණ මැතිවරණ කොට්ඨාශයේ වැලිපන්න ප්‍රදේශයේ දී වාහන එකලස් කිරීමේ නවතම කාර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    අද (27) දින කොළඹ දී පැවති Maximo HD කුඩා ප්‍රමාණයේ වාණිජ රථ පෙළ හා මෙරට පළමු විදුලි ත්‍රීරෝද රථය වන TREO රිය හඳුන්වාදීම සඳහා පැවති උත්සව අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම නවතම හඳුන්වා දීම සිදුකරන ලදී.

    “ඉහළ පිළිගැනීමක් ඇති ඉන්දියානු බහුජාතික සමාගමක් ලෙසින් මහින්ද්‍රා සමාගම මෙය ශ්‍රී ලංකාව තුළ ගනු ලැබූ ඉතා වැදගත් පියවරක්. මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳ මා ඉතා සතුටට පත්වෙනවා. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමූහය අපට අමුත්තෙක් නොවෙයි. ශ්‍රී ලංකාව සමඟ ඉතා දිගු කාලීන බැඳීමක් ඔවුන්ට තිබෙනවා. ඔවුන්ගේ නවතම ව්‍යාපාරය තමයි ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ හඳුන්වා දීම.“

    “එසේම මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පරමාදර්ශී (Ideal) සහකරු වන, අයිඩියල් මෝටර්ස් සමඟ එක්ව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරන්න පියවර ගෙන තිබෙනවා. හොරණ මැතිවරණ කොට්ඨාශයේ වැලිපන්න ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඔවුන් ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සිදුකර තිබෙනවා. මා කැමතියි කියන්න, මෙම කර්මාන්ත ශාලාව මෙම අවුරුද්දේ ජූනි මාසයේ දී විවෘත කෙරෙනවා.“