ඩොලර් බිලියන 14 ක අතිදැවැන්ත ආයෝජනයකින් තවත් තෙල් පිරිපහදුවක් අද හෙටම – නි. අමාත්‍ය නලීන් බණ්ඩාර

    April, 5, 2019

    සිල්වර්පාක් තෙල්පිරිපහදුව සඳහා කරනු ලබන ඩොලර් බිලියන 3.85 ක ආයෝජනය අතිදැවැන්ත ආයෝජනයක් බවත්, ඉදිරියේ දී දෛනිකව බැරල් 420,000 ක ධාරිතාවයකින් යුතු ඩොලර් බිලියන 14.2 ක තවත් තෙල් පිරිපහදුවක් අද හෙටම පැමිණීමට නියමිත බවත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි. අද (05) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අමත්‍යවරයා පැවසුවේ එය සිංගප්පූරු සමාගමක් බවත්, ඒ පිළිබඳ වැඩි විස්තර මේ අවස්ථාවේ අනාවරණය නොකරන බවත්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා,

    “මේ තෙල් පිරිපහදුවට යාබද ඉඩම, කඩිනමින් අපි ඔවුන්ට ලබා දෙන්න කටයුතු කළොත්, ඔවුන් සූදානම් ඉතා කඩිනමින් දෙවන තෙල් පිරිපහදුවත් නිර්මාණය කරන්න.

    “මේ තෙල් ගේන්නේ අපේ රටේ නිෂ්පාදනයට නෙමෙයි. අපේ රටට ගෙනල්ලා, අගය එකතු කරලා විදේශ රටවලට යවන්නේ. උපාය මාර්ගිකව අපේ රට තියෙන වැදගත් ස්ථානය හේතුවෙන් ලෝකයේ ඉන්න ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ, මේ රට වෙත ආකර්ෂණය වෙලා තියෙනවා, 2015 න් පස්සේ අපි ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති නිසා.“

    “හම්බන්තොට වරාය හදද්දී වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දැන් සිමෙන්ති කර්මාන්ත ශාලා එනකොට, තෙල්පිරිපහදු එනකොට, ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. හම්බන්තොට ජනතාවට වැසිකිළි ටික දෙන්න බැරුව ගිය රාජපක්ෂවරු, අපි හම්බන්තොට ජනතාවට රැකියා ටික දෙන කොට, මේ තුළින් රැකියා 6,000 ක් නිර්මාණය වෙනවා. ඒගොල්ලෝ බය වෙලා තියෙනවා“