April, 8, 2019
2019 වසරේ මුල් මාස 03 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 740,600 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය පසුගිය 2018 වසරේ මුල් මාස 3 දී ශ්‍රී ලංකාවට පැමිණි 707,924 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී 4.6% ක ඉහළ යාමකි.
මේ අතර පසුගිය මාර්තු මාසයේ දී 244,328 ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එය 2018 වසරේ මාර්තු මාසයේ දී පැමිණි 233,382 ක්වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණයට වඩා 4.7% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ.
සුපුරුදු පරිදි 2019 මාර්තු මාසයේ දීද වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. එය 34,812 ක් වන අතර 2018 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 30,583 ක්වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා මෙය 5.6% ක වැඩිවීමක් ලෙසින් දක්වා ඇතත්, සැබැවින්ම එය 13.8% ක් ලෙසින් නිවැරදි විය යුතුය.
දෙවැනියට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයෙනි. එය 29,682 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2018 මාර්තු මාසයේ දී පැමිණි 30,366 ක්වූ මහා බ්‍රිතාන්‍ය සංචාරකයින්ට වඩා මෙය 2.3% ක පහළ යාමක් වුවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්යාලේඛනයෙහි මෙය සටහන් වන්නේ 8.8% ක වර්ධනයක් ලෙසිනි.
තෙවැනියාට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ලෙසින් චීනය වාර්තා වන අතර එම ප්‍රමාණය 23,759 කි.
මේ අතර 2019 මාර්තු මාසයේ දී සංචාරකයින් 16,642 ක් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. තවද ජනවාරි මාසයේ දී 9,581 ක් හා පෙබරවාරි මාසයේ දී 12,307 ක්ද වශයෙන් විදෙස් සංචාරකයින් වසරේ මුල් මාස තුන තුළ දී මගී නෞකාවලින් මෙරටට පැමිණ ඇත.
2018 සමස්ත වසර තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ගණන 2,333,796 කි.

Video Story