May, 2, 2019
Arabian Travel Market (ATM) යනු වාර්ෂික ව ඩුබායි හි සංවිධානය කෙරෙන සංචාරක වෙළඳපොළකි. මැද පෙරදිග සංචාරක අංශය ගෝලීයව නිරාවරණය කරන, ව්‍යාපාර සහ සංචාරක අවස්ථා ලබාදෙන විශාලතම සංචාරක වෙළඳපොළ මෙය වේ. මෙවර 25වන වරට පැවැත්වෙන ATM වෙළඳපොළ අප්‍රේල් 29වන දින ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. 2003 වසරේ සිට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශය (SLTPB), ශ්‍රී ලංකාවේ සංචාරක අංශය සමග එක් ව මෙම වෙළදපොළට සහභාගි වෙයි. ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා, ATM 2019 සඳහා සහභාගීත්වය අනිවාර්ය බව මෙම වසරේ සහභාගි වීම සඳහා එකඟත්වය පළ කළ සාමාජිකයෝ 60 දෙනා එකඟ වූහ.
පාස්කු ඉරිදා දින සිදු කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරු ව ATM හි ශ්‍රී ලංකා සංචාරක ආයතනයෙහි කුටිය විවෘත කෙරිණි. පැමිණෙන්නන් හට අනතුරට පත්වූවන්ගේ පවුල්වලට ශෝක පණිවිඩ ලියා තැබීමට සහ අත්සන් තැබීම සඳහා එම කුටියෙහි ශෝක පණිවිඩ සඳහන් පොතක් තබා ඇත.
පීඩාවට පත් සංචාරකයන් හට සහාය වීමට සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලොවක් හමුවේ තහවුරු කිරීම සඳහා, රජය ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ජාත්‍යන්තර හෝටල්කරුවන්ට, ගමනාන්ත කළමනාකාර සමාගම්වලට (DMC) සහ ගෝලීය මාධ්‍යයට පැවසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ආයතනයට ATM හි සහභාගීත්වය අවස්ථාවක් ලබා දී ඇත. SLTPB විසින් මාධ්‍ය හමුවක් ද සංවිධානය කර ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහ රූපවාහිනී ආයතන පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ලෝකය සමග එක්සත් ව ත්‍රස්තවාදයට එරෙහි ව නැගී සිටියි. මේ භයානක ඛේදවාචකය නිසා වැළපෙන මොහොතක අප ශ්‍රී ලාංකිකයන් සතු ඉවසීමේ ගුණය සමඟ ඉදිරියට යා යුතු ය. එය කළ යුත්තේ අපගේ නිවස වන මේ අලංකාර දූපත සහ ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ හදවත බඳු ආගන්තුක සත්කාරය කෙරෙහි ලෝකයේ විශ්වාසය යළිත් පිහිටුවා ගැනීමට ය.
(මෙය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරන ලද්දකි.)
Video Story