ත්‍රස්තවාදී තර්ජන නිසා ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ යැපෙන්නන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන් පහසුකම් රජයෙන්

    May, 2, 2019

    SBS - ශ්‍රී ලංකාවෙහි උද්ගතව ඇති ත්‍රස්තවාදී තර්ජනය සැලකිල්ලට ගෙන කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අයගේ පවුල් වල උදවියට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ගුවන් පහසුකම් ඔස්ට්‍රේලියානු රජය ලබා දී තිබේ.

    SBS මාධ්‍යය ජාලයට අදහස් දක්වමින් විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තුමේන්තුවෙහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ ශ්‍රී ලංකාවෙහි වත්මන් තත්තවය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට අදාළ සංචාරක උපදෙස් අප්‍රේල් මාසයේ 28 වනදා යාවත්කාලීන වූ බවයි. එම උපදෙස් හේතුවෙන් Australian Volunteers International වැඩසටහනේ ස්වේච්ඡා සේවකයන්ට සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අයගේ යැපෙන්නන්ට ස්වේච්ඡාවෙන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අප්‍රේල් මාසයේ 28 වනදා නිකුත් වූ ශ්‍රී ලංකාවට අදාළ සංචාරක උප්දේශය වන “ඔබගේ සංචාරක අවශ්‍යතාව නැවත සලකා බලන්න“ යන්න මෙතෙක් වෙනස් වී නොමැති බවද ඔහු අවධාරණය කරයි.

    ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අයගේ දරුවන් විශාල සංඛ්‍යාවක් දැනට කොළඹ ආශ්‍රිතව වාසය කරයි. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දරුවන්ගේ පාසල් ද තාවකාලිකව වසා ඇත. එසේම ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදී ඇති උපදෙස් නිසා බොහොමයක් පවුල්වල ගමනාගමන කටයුතු ද සීමා වී ඇති බව වාර්තා වේ.

    තවත් ත්‍රස්ත ප්‍රහාර සඳහා අනතුරු ඇඟවුම්

    ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යන smartraveller.gov.au නම් වෙබ් අඩවියෙහි සඳහන් වන්නේ "ත්‍රස්ත ප්‍රහාර ඕනෑම ස්ථානයක සිදු විය හැකි බව හා එය විදේශිකයන් බහුලව ගැවසෙන සංචාරක ස්ථාන වලදී වුවද විය හැකි" බවයි.

    ශ්‍රී ලංකාවෙහි බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙහි ආරාක්ෂාවද අතිරේක ලේයර තුනක් යොදා තර කර තිබෙයි. මීට අමතරව ගුවන් තොටුපොල වෙත පැමිනිනෙන සියළුම වාහන පරීකෂාවට භාජනය වන අතර මගීන් සියලු දෙනාම පර්යන්තයට මීටර් 100 ක් තබා ශරීර පරීක්ෂාවකට ද ලක් වෙයි. එසේම මගීන්ගේ ගුවන් ගමන් සඳහා සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීමට පැය 4 ක කාලයක් වෙන් කරනා ලෙස උපදෙස් බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙහි නිල වෙබ් අඩවියේ අඩංගු වෙයි.

    ශ්‍රී ලංකාවෙහි සිටින ඇමරිකානු තානාපතිනිය පසුගිය අඟහරුවාදා (30/04) පවසා සිටියේ ත්‍රස්ත කල්ලිය විසින් නැවත ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට තමන් විශ්වාස කරනා බවයි. එසේම ත්‍රස්ත කල්ලිය සම්පූර්ණයෙන්ම මර්ධනය වී නොමැති බව විශ්වාස කරනා බවද ඇය පැවසූවාය. ඇමරිකානු වැසියන්ට අනතුරු අඟවා තිබෙනුයේ ත්‍රස්තයන් ඉලක්කගත කල හැකි ස්ථානයන් හී කල්පනාකාරීව සිටිනා ලෙසයි.

    සවුදි අරාබි හා ඊශ්‍රායල රජයන් මගින් තම වැසියන්ට අවවාද කරනුයේ ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසයි.