අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම 7.5% කින් බසී

    May, 7, 2019

    පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 166,975 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේවෙතත් 2018 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට 180,429 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති අතර එම ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 7.5% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

    අප්‍රේල් මාසයේ දී දැකිය හැකි විශේෂත්වය වනුයේ යුරෝපා රටවලින් පැමිණ තිබෙන සංචාරකයින් සාපේක්ෂව අනෙකුත් රටවලට වඩා ඉහළ මට්ටමක පැවතීමයි. ඒ අනුව අප්‍රේල් මාසයේ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. එය 24,718 ක් ලෙසින් සටහන් වන අතර මෙතෙක් මෙම ලැයිස්තුවේ පළමු තැන සිටි ඉන්දියාව ඒ අනුව දෙවන ස්ථානයට පත්ව තිබේ. මෙහිදී ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ගණන සටහන් වන්නේ 23,431 ක් ලෙසිනි.

    කෙසේ වෙතත් 2018 අප්‍රේල් මාසය හා සැසඳීමේ දී මෙම වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම එක් එක් රට අනුව එක්සත් රාජධානිය 5.2% ක්, ඉන්දියාව 21.5% ක්, චීනය 18.3% ක්, ඕස්ට්‍රේලියාව 31.8% ක්, එක්සත් ජනපදය 44.6% ක් යනාදී වශයෙන් පහළ ගොස් තිබේ. මෙම වාතාවරණය තුළ ජර්මනියෙන්, ප්‍රංශයෙන් හා ස්විස්ටර්ලන්තයෙන් පැමිණි සංචාරකයින් ගණන පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව පිළිවෙලින් 56.7% කින්, 23.4% කින් හා 59.3% කින් වර්ධනය වී තිබීම විශේෂත්වයකි.

    මේ අනුව 2019 වසරේ මුල් මාස 04 තුළ දී 907,575 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණි තිබෙන අතර එය 2018 වසරේ මුල් මාස 04 හා සැසඳීමේ දී 2.2% කි වර්ධනයකි.