දේශීය ව්‍යාපාරවලට කඩිනම් සහන අවශ්‍ය කාලයයි මේ

    May, 7, 2019

    පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව, සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයම අකර්මණ්‍ය කිරීමට මේ වන විට හේතු වී තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි හෝටල් ත්‍රිත්වයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් එම හෝටල් තුන පමණක් නොව රටේ සමස්ත හෝටල් පද්ධතියම මේ වන විට ආපදාවට ලක්ව ඇත.

    ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා හෝටල් හිමියන් ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පැවසුවේ, රටේ සමස්ත හෝටල්වලින් 75% ක් පමණ මේ වන විට හිස්ව ඇති බවයි. ත්‍රස්ත ප්‍රහාර හමුවේ විදෙස් රටවල් 37 ක් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බවත්, එහිදී ඇතැම් රටවල රජයන් විසින් සිය පුරවැසියන්ට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අවධාරණය කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේය.

    මේ අතර පසුගිය සතියේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා කියා සිටියේ අද වන විට රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකයද ඛේදනීය ලෙස පහළ වැටී ඇති බවත්, පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳව අවිනිශ්චිතතාවකට පත්වී ඇති බවත්ය. ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පාර්ශවයකගෙන් මේ වන තෙක් විසඳුම්, වැඩපිළිවෙලක් ප්‍රකාශ වී නොමැති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ ව්‍යාපාරිකයින් විසින් රජයෙන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ, සිය ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී තත්ත්වයක් ලබා ගැනීමට කටයුතු කර දෙන ලෙසයි. ණය පොළී වසරකට හෝ දෙකකට අය නොකර සිටීම, ණය ගෙවීම සඳහා වසරක පමණ සහන කාලයක් ලබා දීම ඒ අතුරින් ප්‍රමුඛ ඉල්ලීම් වේ.

    තත්ත්වය මෙසේ පවතිද්දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් LMD විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන Biz Confidence Index දර්ශකයේ නවතම වාර්තාව මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී ව්‍යාපාර විශ්වාසය 77 ක් දක්වා පහළ වැටී ඇත. එම අගය 2019 මාර්තු මාසයේ දී දැක්වුණේ 90 ක් වශයෙනි. මෙහි ඇති අභාග්‍යසම්පන්න කරුණ නම් මෙම Biz Confidence Index දර්ශකය, 2008 ජූලි මාසයෙන් පසු වාර්තා කරන ලද අවම අගය පසුගිය අප්‍රේල් මාසයේ දී වාර්තා කර තිබීමයි.

    ව්‍යාපාර විශ්වාසය මෙලෙස පළුදු වීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙන්ම රටේ සාර්ව ආර්ථික පරිසරයද අඩුවැඩි වශයෙන් හේතු වී ඇති බව පැහැදිලි වන්නේ, 2014 පළමු කාර්තුවෙන් පසු වාර්තා වූ අවම ආර්ථික වර්ධන වේගය වන 1.8%,2018 සිව්වන කාර්තුවේ දී වාර්තා වීමත්, 2019 අයවැය යෝජනා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් තුළ නොපැහැදීමත් නිසාය.

    කෙසේ වෙතත් පවතින වාතාවරණය තවදුරටත් උග්‍ර වීමට ඉඩනොදීම වගකිව යුත්තන්ගේ වගකීමකි. අද වන විට මෙරට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම ඉතා කුඩා ප්‍රමාණයේ කඩපිල් පවා පවතින අවිනිශ්චිතතාවයේ ගොදුරු වී හමාරය. එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය ගර්හිත වීම වළක්වාගැනීමට ගත යුතු දිගුකාලීන පියවර මෙන්ම, ව්‍යාපාරිකයින් විසින් ඉල්ලා තිබෙන කෙටිකාලීන පියවර සම්බන්ධයෙන් වහා අවධානය යොම කළ යුතුවේ.