ගුණාත්මක සිනමාවක් වෙනුවෙන් සිනමාශාලාවල මත්පැන් අලෙවියට නිර්දේශ ලිපි නොදීමට සජිත්ගෙන් යෝජනාවක්

    May, 8, 2019

    ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේ දී සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවූවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යාම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    සිනමාශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක්වන බවත්, එබැවින් සිනමාශාලා වෙත පැමිණෙන ප්‍රේක්ෂකයින් නරඹන්නන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බවත් නිරීක්ෂණය වී ඇත.

    ඒ අනුව, ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසින්, මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසක් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර සඳහා නිකුත් කරනු ලබන නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් කිරීම අත්හිටුවන බව සඳහන් කරමින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.