මහජන බැංකුවට අයත්ව තිබූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ වැඩි කොටස් අයිතිය, Sterling Capital Investments විසින් අත්පත් කර ගනී

    May, 9, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 126,384,052 ක අයිතිය, හිමිකම් නිකුතුවක් හරහා අත්පත් කර ගැනීමට Sterling Capital Investments (පුද්) සමාගම පියවර ගෙන තිබේ. මෙහිදී එක් කොටසක් සඳහා රු. 9.50 ක් බැගින් වන පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම වෙනුවෙන් Sterling Capital Investments විසින් ආයෝජනය කර ඇති මුදල රු. බිලියන 1.2 ක් බව වාර්තා වේ.

    මීට පෙර 2019 ජනවාරි 07 දින පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 16.85 ක් එකක් රු. 9.50 බැගින් පුද්ගලික නිකුතුවක් හරහා Sterling Capital Investments වෙත නිකුත් කර තිබුණි. ඒ වෙනුවෙන් Sterling Capital Investments අයෝජනය කර තිබූ මුදල රු. මිලියන 160 කි. මේ අනුව මෙම සමස්ත කොටස් අත්පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.36 ක් Sterling Capital Investments විසින් මේ දක්වා ආයෝජනය කර තිබේ.

    මෙකී හිමිකම් නිකුතුව හරහා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ තමන් සතු කොටස් හිමිකාරීත්වය කොටස් 143,234,052 ක් දක්වා වැඩි කර ගැනීමට මේ අනුව Sterling Capital Investments (පුද්) සමාගම සමත්ව තිබේ. ඒ අනුව පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි නිකුත් කරන ලද හා ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 67.9% ක අයිතිය Sterling Capital Investments සතු වනු ඇත.

    මෙකී ව්‍යාපාර අත්පත් කර ගැනීමත් සමඟ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි ඉතිරි කොටස් සියල්ල මිල දී ගැනීම වෙනුවෙන් Sterling Capital Investments විසින් ඉදිරියේ දී කොටසක් සඳහා රු. 9.50 ක් බැගින් වන පරිදි අනිවාර්යය අර්පණයක් (mandatory offer) සිදුකිරීමට නියමිත බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ.

    2018 දෙසැම්බර් 31 දින මූල්‍ය ප්‍රකාශනවලට අනුව පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.16% ක් මහජන බැංකුව සතුව පැවති අතර 37.06% ක් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතුව පැවතිණි.