May, 28, 2019
2011 නොවැම්බර් 27 දින කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විවෘත වූයේ මෙරට මහා මාර්ග ඉතිහාසයේ දැවැන්ත මංසළකුණක් තබමිනි. එතෙක් කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කිරීමට තිබූ ප්‍රධානතම මහා මාර්ගය වූ ‘ගාලු පාරේ‘ ගමන මෙන් නොව පැයක් ඇතුළත කොළඹ - ගාල්ල යාකෙරෙන මෙම අධිවේගී මාර්ගය භාවිතයට මහජනතාව ඉතා ඉක්මනින් පුරුදු වූයේ කාලය නැමති සාධකයේ වටිනාකම කොපමණදැයි මනාව වටහා ගනිමිනි.
මේ තත්ත්වය නිසාම පොදු ප්‍රවාහන සේවා යොදා ගන්නා මගීන් ද සුපුරුදු ගාලු පාරේ බස් ගමනට තිත තබා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ වෙත යොමු වන්නේ සාමාන්‍ය ගාස්තුව මෙන් කිහිප ගුණයක් ගෙවා හෝ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අරමුණු ඇතිවය.
කෙසේ වෙතත් මෙහි දැක්වෙන්නේ, අපගේ අධිවේගී මාර්ග පද්ධතිය උසස් මට්ටමක තිබුණුද, පොදු ප්‍රවාහන සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති අවස්ථාවල දී එය කළමනාකරණය කර ගැනීමට බලධාරීන් අපොහොසත් බවට සාක්ෂි දරන ඡායාරූප දෙකකි. එය අප හට ලබාදුනේනේ පසුගිය මැයි 17 සිකුරාදා දින, එනම් වෙසක් පොහොය දිනයට පෙර දින කොළඹ සිට මාතර දක්වා ගමන් ගැනීමේ අටියෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ගිය මගියෙකු විසිනි. ඔහු පවසා සිටියේ බසයට නැගීම සඳහා තම වාරය එනතුරු පැය 3කට ආසන්න කාලයක් මෙලෙස පෝළිමේ සිටගෙන සිටීමට තමන්ට සිදු වූ බවයි.
කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වන්නේ මෙම වසරේ මාර්තු 31 වන දිනය. එතෙක් කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ මගී බස් රථ ධාවනය ආරම්භ වූයේ මහරගම නගරයෙනි. බොහෝ විට දීර්ඝ සතිඅන්ත හෝ උත්සව නිවාඩු දින එළඹෙන දිනයන් හිදී මහරගම නගර මධ්‍යයේ බස් නැවතුම්පළ වටා අධිවේගයේ බස් ගැනීමට වට දෙක තුනක පෝළිමකි. එය වැස්සට තෙමිය යුතු අව්වට වේලීමට සිදුවන පෝළිමකි. අතදරුවකු සමග පැමිණියත් සිටිය යුත්තේ එම පෝළිමේය. කෙසේ වෙතත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මගීන් ට යම් අස්වැසිල්ලක් ඇත්නම් පෝළිමට ඉහළින් වහලයක් තිබීමයි. එබැවින් මහරගම තිබූ ප්‍රධාන පීඩාවක් එමඟින් මඟ හැරී යන්නේය. නමුත් ඡායාරූපයේ දැක්වෙන ආකාරයටම දරුවකු වඩාසිටින කාන්තාවට අනෙක් අයත් සමඟම පෝළිමේ සිටගෙන සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.
ජනතාව දැනුවත් කරන LED පුවරු, GPS මගින් අවශ්‍ය දුම්රිය හෝ බස් රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනිමට හැකි විම, දුම්රියේ හා බස්රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකි විම, අන්තර්ජාලය මගින් ප්‍රවේශපත්‍ර වෙන් කර ගත හැකි වීම, ස්වයංක්‍රීය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ පහසුව, විවේකාගාර, බැංකු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ආපන ශාලා යනාදිය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙතින් ජනතාවට සැලසෙන ප්‍රධාන සේවාවන්ය.
නමුත් නිසි කලට අවශ්‍ය අයුරින් බස් කාලසටහන කළමනාකරණය කර ගැනීමට නොහැකි නම් රුපියල් මිලියන 2,000 ක වියදමින් තැනූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවා දැයි යන ප්‍රශ්නාර්ථය මතුවේ. තවද මෙහි මගීන් පෝළීම් ගැසී සිටින්නේ කිසිදු සැලසුමකට අනුව නොවේ. එකෙකු පසුපස අනෙකා අවිධිමත් ආකාරයකින් සිටිනවා හැරෙන්නට විධිමත්ව මගී ජනතාව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් එහි දකින්නට නැත. විශේෂයෙන්ම පෙර කී ආකාරයෙන් දීර්ඝ සති අන්තයන් හෝ උත්සය සමයන් වැනි කාලවකවානුවල දී මගී ජනතාව කළමනාකරණය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය බවට මෙම ඡායාරූප මැනවින් පෙන්වා දේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව විද්‍යාත්මකව සලකා බලා කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි. නැතහොත් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසන පරිදි අනාගතයේදි පිටකොටුව, බත්තරමුල්ල, කඩවත, මහනුවර, කටුනායක දහඅටේ කණුව ආදී ප්‍රදේශවලද මෙවැනිම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යෙදූවද, මගී ජනතාවට මෙයාකාරයෙන්ම පැය ගණන් පෝළිම්වල කල්මැරීමට සිදුවන්නේ නම්, එවැනි සංවර්ධනයකින් ජනතාවට ඇති ප්‍රතිඵලය කුමක්දැයි යන්න බලධාරීන් විසින්ම මහජනතාවට තේරුම් කර දිය යුතු වේ.
අද වන විට මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට හැකි තාක්ෂණික මෙවලම් අපමණය. මෙලෙස ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණෙන මගීන් හට කලින් ආසන වෙන්කර ගැනීමේ හැකියාව ඇත්නම්, ඔවුන් ගමන් කළ යුතු බස් රථය පිටත් වන වේලාව නිසියාකාරයෙන් දැක්වෙන්නේ නම් මෙලෙස මගීන්ට පෝළිම්වල රස්තියාදු වීමට අවශ්‍යතාවයක් නැත. එසේම මෙවැනි අනවශ්‍ය තදබදයක් නිර්මාණය වන්නේ ද නැත. කළ යුතු වන්නේ මෙවැනි සංවර්ධන ව්‍යාපෘතිවල උපරිම කාර්යසාධනය අත්පත් කරගැනීම සඳහා ගත යුතු තාක්ෂණික පියවරයන් මොනවාද යන්න පිළිබඳව සොයාබැලීම පමණි. මොබයිල් ඇප් එකක් වැනි ක්‍රමවේදයකින් මෙවැනි ගැටළුවලට ඉතා පහසුවෙන් විසඳුම් දිය හැකි බව ඇතැම් විට බලධාරීන් නොදන්නවා විය හැකිය.
Video Story