May, 28, 2019
එළිමහන් සංගීත ප්‍රසංග හරහා යැපුණු බොහෝ දෙනාගේ ආර්ථික තත්ත්වය අද වන විට අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් යථා තත්ත්වයට පත්වීම සඳහා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා පවසයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සඳහා රටේ නායකත්වයේ පමණක් නොව සියලූම දෙනාගේ අවධානය යොමු විය යුතු බවයි.
මේරියන්ස් නායක නලින් පෙරේරා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.
“කිසිම ආණ්ඩුවකට බරක් නොවිච්ච ක්ෂේත්රයක් තමයි සංගීත ක්ෂේත්රය.“
“මේ ප්රශ්නය හරහා මේ වන විට සංගීත ලෝකයේ එළිමහන් සංගීත ප්‍රසංගවල කටයුතු කරන සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්, වේදිකා සපයන අය, ජෙනරේටර් සපයන අය, ඒ වගේම කඩල, සරුවත් විකුණන වෙළෙන්ඳාගේ ඉඳලා මේ ක්ෂේත්රයට අද බිංදුවේ ලකුණ තමයි හමුවෙලා තියෙන්නේ.“
“එල්ටීටීඊ ත්‍රස්තවාදය තියෙන කාලේ, මේ රටේ යුද්දේ පැවතිච්ච කාලේ, ප්‍රසංග පැවැත්වූවා. අපට තාමත්, මේ රටේ නායකයින්ට වඩා විශ්වාසයි, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය. රටේ නායකත්වය පමණක් නෙමෙයි, මෙහි සිටින වගකිව යුතු සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි.“
“මොකද මේ බරක් වෙච්ච නැති ක්ෂේත්රය ඔබට ඉල්ලීමක් කළා, ඒකට අවශ්‍ය පරිසරය හදලා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ ඉන්න සියලූම සංගීත කණ්ඩායම්වල නායකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා, ඔබගේත් වගකීමක් තියෙනවා, රටේ ආරක්ෂාව වෙනුවෙන් කෙරෙන සෑම දේකටම සංගීත කණ්ඩායමේ පූර්ණ සහයෝගය දෙන්න.“
“මොකද එල්ටීටීඊ ත්රස්තවාදයට එහා ගිය අන්තවාදී ත්‍රස්තවාදයකට අපි අද මුහුණ දෙන්නේ. ඒක අති භයානකයි. කොතනද, කොහොමද, කොයි ආකාරයට ද එන්නේ කියලා, අපි දන්නේ නැහැ. නමුත් රටක් වශයෙන් අපි ඉදිරියට යා යුතුයි. එක තැන නතර වෙන්න බැහැ.“
Video Story