සංගීත කණ්ඩායම්වල නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති

    May, 28, 2019

    අප්‍රේල්  21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ  විවිධ සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක්  අද (28)  මුදල් අමාත්‍ය මංගල සමරවීර  මහතා  එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

    නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 15ක් පමණ නියෝජනය කරමින් එහි සාමාජිකයින් එම සාකච්ඡාවට එක්වූහ.

    මෙම වකවානුවේ සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇති  බැවින් තම සමාජිකයින්ට වෘත්තිය ගෙවීම් කිරීමට පවා නොහැකි  වී ඇති අතර සංගීත උපකරණ වලට අදාළව කල්බදු ගෙවීමට ඇති බවට ඔවුන් විසින් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලදි.  ඒ වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍ර වලට වූ හානි සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන්  ඉදිරියෙදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කිරීමට නියමිතය.

    මුදල් අමාත්‍යාංයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරින් පිරිසක්ද මෙම සාකච්ඡාවට  සහභාගී වූහ.