Google Playstore, Gmail, YouTube, Facebook, Instagram, WhatsApp වැඩ නොකළොත් මුදල් ආපසු ගෙවන බව Huawei මෙරට නියෝජිතයා කියයි

    June, 19, 2019

    Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයාවන සිංගර් ශ්‍රී ලංකා සමාගම නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන හෝ ටැබ් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට මුදල් ආපසු ලබාදීමේ වගකීමක් ලබාදීමට තීරණය කර ඇත. Google Playstore, Gmail, Google Map, Google Photos, Chrome, YouTube, Facebook, Instagram සහ WhatsApp යන ඕනෑම යෙදුමක් අක්‍රිය වීමක් සිදු වුවහොත් පාරිභෝගිකයා ගෙවූ සම්පූර්ණ මුදල යළි ලබාදීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරයි.

     

    ශීඝ්‍රයෙන් ලොව විශාලත ම සහ ප්‍රමුඛත ම ICT සමාගම බවට පත්වෙමින් සිටින Huawei සමාගම 2018 වසරේදී මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය බවට පත්විය. 2012 වසරේ පටන් Huawei සන්නාමයේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරමින් සිංගර් සමාගම මෙරට ජනතාවට ලොව නවීනත ම ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හඳුන්වා දී ඇත.

     

    මෙම සාර්ථකත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගනිමින් නව්‍ය තාක්ෂණයෙන් යුතු ලොව විශිෂ්ටත ම  ස්මාර්ට් ජංගම දුරකථන ඉදිරියටත් මෙරට පාරිභෝගිකයන් වෙත ගෙන ඒම සඳහා සිංගර් සමාගම වසර 2ක් දක්වා මෙම මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනමයි. සාමාන්‍ය දෘඩාංග සහ මෘදුකාංග වගකීමට අමතරව මෙම මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනැමීම ද විශේෂත්වයකි.

     

    "Huawei යනු වසර ගණනාවක පටන් මෙරට ජනතාවගේ ප්‍රියත ම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය බවට පත්ව තිබෙනවා. Google Play store, Gmail, Google Map, Google Photos, Chrome, YouTube, Facebook, Instagram සහ WhatsApp ආදී ඕනෑම යෙදවුමක ක්‍රියාකාරිත්වයට බාධාවක් ඇති වුවහොත් බලයලත් සේවා මධ්‍යස්ථාන එම පාරිභෝගිකයාට සම්පූර්ණ මුදලම ආපසු ලබාදීමට බැඳී සිටිනවා" යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

    තවද, ඉහත සඳහන් කිසියම් යෙදවුමක් තම Huawei උපාංගයේ නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් එය අදාළ බලයලත් සේවා මධ්‍යස්ථානයක් හරහා නොමිලේ ම පරික්ෂා කර ගත හැකිය.

     

    මෙම මුදල් ආපසු ලබාදීමේ වගකීම සිංගර් සමාගම සහ  පාරිභෝගිකයන් අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව සිංගර් සමාගමේ විශ්වාසයයි. පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම Huawei ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් සඳහා විශේෂිත වගකීම් කාඩ්පතක් පිරිනැමේ. 0115 400 400 අංකයෙන් සිංගර් හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් ඕනෑම වැඩිදුර තොරතුරක් ලබාගත හැකිය.