සම්පත් බැංකුවේ හිමිකම් නිකුතුව සාර්ථකයි. රු. බිලියන 12.1ක් රැස් කර ගනී

    July, 1, 2019

    සම්පත් බැංකුව විසින් 2019 මාර්තු 01 දින ප්‍රකාශයට පත් කරන ලද හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 89,006,863ක්, හිමිකම් කොටස් නිකුතුවක් හරහා නිකුත් කිරීමට 2019 මාර්තු 28 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබීය.

    එහිදී පවතින ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 23 කට, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 07 ක් හිමිවන පරිදි මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකෙරුණු අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරුණේ රු. 136.00 ක් බැගිනි.

    ඒ අනුව රු. 12,104,933,368.00 ක මුදලක් මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට බැංකුව සමත්විය.

    කෙසේවෙතත් 2019 ජූනි 21 දින බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටියේ හිමිකම් කොටස්වලින් 63,538,223කට දායකත්වය ලැබී ඇති බවකි. මේ අතර 2019 ජූනි 28 දින බැංකුව විසින් යළිත් වරක් කොටස්වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ඉතිරි කොටස් 25,468,640 සඳහා ද දායකත්වය ලැබුණු බව තහවුරු කර සිටියේය.