July, 5, 2019
අභිමානවත් ශ‍්‍රී ලාංකික සමාගමක් සහ රටේ ආදරය දිනූ දේශීය සන්නාමයක් වන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වන සංවස්තරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත. විශේෂයෙන්ම සකස් වූ මෙම වැඩසටහන්වලට ශිෂ්‍යත්ව ප‍්‍රදානයන් මෙන්ම නව නිෂ්පාදන එළිදැක්වීම්ද ඇතුළත් වේ. එමෙන්ම දේශයේ වටිනාකම් හා එකමුතුකම වර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් ඔස්සේ පාසල් තුළ දරුවන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ මෙහෙවර වෙනුවෙන්ද සමාගම කැපවී සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසී ය. ‘‘රටේ අධ්‍යාපනය නගාසිටුවීම සහ දරුවන්ගේ යහපත සැලසීම වෙනුවෙන් ඇට්ලස් සමාගම වසර 60 ක් තිස්සේ කැපවී කටයුතු කරමින් සිටිනවා. මෙම අරමුණ වෙනුවෙන් අප මුළු දිවයිනම ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩමුළු, ගුරු පුහුණු වැඩමුළු, පහ වසර ශිෂ්‍යත්ව වැඩමුළු ආදී වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවා ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම රිදීගම රිදී විහාරය සමග එක්වී වසර 16 ක් තිස්සේ අප ක‍්‍රියාවට නංවමින් සිටින, අපගේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. මෙම වැඩසටහන යටතේ සෑම වසරකදීම අප දරුවන් 5,000 කට අධික පිරිසක් වෙනුවෙන් ලිපිද්‍රව්‍ය බෙදා දෙනවා. ඉදිරියටත් අප කාර්ය මණ්ඩලයට වැඩිදුර පුහුණව ලබාදීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නවෝත්පාදනය සහ දේශීය හා ජාත්‍යන්තර අලෙවිය පුළුල් කිරීමට වැනි කටයුතුවලට සමගාමී අපගේ සමාජ සත්කාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අප බලාපොරොත්තු වනවා. ”
සියයට සියයක් දේශීය සමාගමක් ලෙස එදාමෙදාතුර, බහුජාතික සමාගම්, බාල ප‍්‍රමිතියෙන් යුතු ආයනිත නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට ඇට්ලස් සමාගමට සිදුවිය. එහෙත් තම නිෂ්පාදනවල ප‍්‍රමිතිය වැඩිකරමින්, මිලගණන් වඩාත් සහනදායී මට්ටමකට ගෙන එමින් සහ නව නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙම අභියෝග ජයගැනීමට සමාගමට හැකියාව ලැබිණි.
මෑතක සිට ද්වේශ සහගත අරමුණු සහිත සහ ව්‍යාජ නම්වලින් පෙනී සිටින පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය හරහා ඇට්ලස් සමාගමට එරෙහිව අසත්‍ය පුවත් සහ වෛරය පතුරවමින්, මඩගැසීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන බව අසිත සමරවීර මහතා පෙන්වා දුන්නේ ය.
‘‘අපේ‍්‍රල් 21 වනදා සිදුවූ ම්ලේච්ඡ ප‍්‍රහාරයේ කම්පනය තවමත් අපේ සිත්වලින් ඈත් වී නැහැ. ජාතියක් ලෙස මේ මොහොතේ යළි නැගී සිටින්නට දරන උත්සාහය හමුවේ ඇතැම් පාර්ශ්වයන් මේ තත්ත්වයෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට උත්සාහ කරමින්, රටේ ව්‍යාපාරවලට එරෙහිව ද්වේශ සහගත ආරංචි පතුරුවමින්, තරගය මැද අවස්ථාවාදී, කෙටිකාලීන වාසි ලැබීමට උත්සාහ කරනවා. කවදත් ප‍්‍රතිපත්තිගරුක සහ, රටේ දියුණුවට සක‍්‍රීය දායකත්වයක් ලබාදෙන ඇට්ලස් සමාගමත් මේ අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවට පත්වී තිබීම කනගාටුවට කරුණක්. මුළුමනින්ම අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීමට මේ අවස්ථාවාදීන් උත්සාහ කරනවා. ජනතාව නොමග යවමින් අයුතු ලාභප‍්‍රයෝජන ලැබීම ඔවුන්ගේ එකම අරමුණයි.”
මේ ආකාරයට සමාගමේ කීර්ති නාමයට හානි කරන ව්‍යාජ පුවත් සහ ද්වේශ සහගත අදහස් 400 කට අධික සංඛ්‍යාවක් පළවී ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි ව්‍යාජ ගිණුම් මගිනි. ෆේස්බුක් වෙබ් අඩවිය සිය ප‍්‍රතිපත්ති අනුව මෙම පුවත් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇත.
තවත් මෙවැනි ප‍්‍රකාශ 148 ක් සිදුකර ඇත්තේ තරගකාරී සමාගම් වෙනුවෙන් සේවය කරන සහ වෙනත් පටු අරමුණු සහිත පුද්ගලයන් විසිනි. අද පවා සමාගමට එරෙහි චෝදනාවලින් හරි අඩක්ම එල්ල කරනු ලබන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් හරහා ය.
මීට අමතරව බිම් මට්ටමේදී මෙවැනි ද්වේශ සහගත අරමුණු සහිත පිරිස් විසින් තවත් ව්‍යාපාරයක් දියත් කර තිබේ. එහිදී ඇට්ලස් නිෂ්පාදන වර්ජනය කරන ලෙසට වෙළඳුන්ට සහ ගුරුවරුන්ට බලපෑම් කෙරෙන අතර, ඇට්ලස් නිෂ්පාදන භාවිතා නොකරන ලෙසට දරුවන් පොළඹවීමටත්, එම නිෂ්පාදන භාවිතා කරන දරුවන්ට දඬුවම් පැමිණවීමටත් කටයුතු සිදුවෙමින් පවති.
මෙම වෛරී ව්‍යාපාරයට එරෙහිව මේ වනවිට පියවර රැුසක් ගෙන ඇති බව ඇට්ලස් සමාගම පවසයි. ‘‘දැනටමත් රහස් පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට අප කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප‍්‍රචාරවලට වගකිව යුත්තන් වෙත එන්තරවාසි යැවීමට අප කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම වෙළඳුන්, පාසල් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දැනටමත් ක‍්‍රියාවට නංවා තිබෙනවා. කෙසේ වුවත් ‘WhatsApp’ වැනි මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය ප‍්‍රචාර නිරීක්ෂණය කිරීම හා පාලනය කිරීම දුෂ්කරයි.” සමරවීර මහතා පෙන්වා දුන්නේ ය.
‘‘වසර 60 කට පසුත් ඇට්ලස් තවමත් ක‍්‍රියාත්මක වන්නේ එය ආරම්භයේදී පදනම් වූ වටිනාකම් හා මූලධර්ම වන, සේවකයන්ට හැමවිටම හොඳින් සැලකීම, අවංකව ව්‍යාපාර කටයුතු කිරීම, ජාතික ආර්ථිකයට දායක වීම, වඩාත් හොඳ ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන බිහිකිරීම සහ නිහතමානී බව හා ගෞරවය මූලික කරගෙන ව්‍යාපාර කටයුතු කිරීම යනාදී ගුණාංග මතයි. සමාගමට එරෙහිව ගෙනයන මේ ද්වේශ සහගත ව්‍යාපාරය, අපගේ 1,200 කට අධික සේවක පිරිසගේ සහ වෙනත් ආකාරවලින් ව්‍යාපාරය හා සම්බන්ධ වී සිටින්නන්ගේ මෙහෙවර අවතක්සේරුවට ලක්කිරීමක්. ඒ වගේම සමාගම විසින් රටේ ආර්ථිකයට හා ජනතාවගේ සුභසිද්ධියට ලබාදෙන ලද දායකත්වය හෑල්ලූවට ලක්කිරීමක්. ඇට්ලස් වැනි දේශීය සමාගම්වලට මෙලෙස පහර ගැසීමෙන් සිදුවන්නේ අඩු ප‍්‍රමිතියෙන් යුත් විදේශ නිෂ්පාදනවලට මෙරට වෙළඳපොළ ආක‍්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම පමණයි.” සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.
වර්තමානයේ මේ ආකාරයට අභියෝගවලට මුහුණදුන්නද ව්‍යාපාරයේ ස්ථාවරත්වය සහ අනාගත වර්ධන හැකියාව ගැන තමන් තුළ සැකයක් නොමැති බව සමාගම කියා සිටී.
මෙතෙක් කල් වාර්ෂිකව රටේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමූ ආකාරයටම සිය 60 වන සංවත්සරය වෙනුවෙන්ද දරුවන් පිරිසකට ශිෂ්‍යත්ව ලබාදීමට ඇට්ලස් සමාගම පියවර ගෙන ඇත. තවද රටේ පාසල්වල පහසුකම් නැංවීම සඳහා සහ දරුවන්ට යහපත් පුරුදු හා ගුණධර්ම සම්බන්ධයෙන් දැනුමක් ලබාදීම සඳහා සේවක පැය 3,600 ක කාලයක්ද වෙන්කිරීමට නියමිත ය.
Video Story