ප්‍රතිඅපනයනයට ගෙනාවේ රෝහල් මෙට්ට නොවෙයි, වරායේ බහාලුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – හේලීස් අවධාරණය කරයි

    July, 22, 2019

    මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් 102 ක් සම්බන්ධයෙන් තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හේලීස් ෆ්‍රී සෝන් පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවක දී එහි නිලධාරීහූ මේ බව කියා සිටියෝය. මෙම මාධ්‍ය හමුවේ දී හේලීස් ෆ්‍රී සෝන් වෙනුවෙන් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න, අසංක රත්නායක (අධ්‍යක්ෂ) සහ අමල් රොද්‍රිගෝ (අධ්‍යක්ෂ) යන මහත්වරුන් අදහස් දැක්වීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේ හේලීස් ෆ්‍රී සෝන් අංගනයේ ගබඩා කර ඇති, ආනයනය කරන ලද භාවිතා කරන ලද මෙට්ට, කිසිදු ආකාරයකින් රෝහල්වලින් ඉවත් කරන ලද ඒවා නොවන බවයි. එසේම මෙට්ට, කාපට් හා ස්පොන්ජ් යන අමුද්‍රව්‍ය හැරෙන්නට වෙනත් කිසිදු ද්‍රව්‍යයක් මෙම අංගනය තුළ නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය. විශේෂයෙන්ම හේලීස් ෆ්‍රී සෝන් අංගනය තුළ රෝහල් අපද්‍රව්‍ය ඇති බවට එල්ල වන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් හේලීස් ෆ්‍රී සෝන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    හේලීස් ෆ්‍රී සෝන් සමාගම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකාවට කසළ ආනයනය කළේ යයි එල්ලවන චෝදනා සියල්ල හේලීස් ෆ්‍රී සෝන් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර සිටියේය. මේ වන විට හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කර ඇති භාවිත කරන ලද මෙට්ට බහාලුම් 130 ක් සම්බන්ධව මාධ්‍ය මගින් ගෙන යන පදනම් විරහිත චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එම සමාගම සඳහන් කළේ එම මෙට්ට ආනයනය කරන ලද්දේ Ceylon Metal Processing Corporation සමාගම බවත් ඒවායේ සැබෑ හිමිකරු වන්නේ එම සමාගම බවත්ය.

     

    හේලීස් ෆ්‍රී සෝන් යනු අනෙකුත් ගෝලීය වෙළඳ කලාපවල මෙන් ප්‍රතිඅපනයනය සඳහා ගබඩාකරණ සහ අගය එකතු කිරීමේ සේවා සැපයීමේ අරමුණින් 2013 අංක 1 දරන පනත යටතේ ස්ථාපනය කර ඇති නීත්‍යනුකුල ආයතනයකි.

    නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන ETL COLOMBO සමාගම මගින් Ceylon Metal Processing Corporation සමාගමට අයත් භාවිතා කරන ලද මෙට්ට තොගයක් පිරි සැකසුම් කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා හේලීස් ෆ්‍රී සෝන් සමාගම තෝරා ගැනුණි. එසේ එවන භාණ්ඩ හේලීස් ෆ්‍රී සෝන් සමාගම වෙතට එවීමේදී නිත්‍යානුකුලව එම භාණ්ඩ වල ආනයන කරු ලෙස හේලීස් ෆ්‍රී සෝන් සමාගම නම් කල යුතුව තිබිණ. ඉන් ඔබ්බට හේලීස් ෆ්‍රී සෝන් සමාගමට මෙම භාණ්ඩ සඳහා කිසිදු නෛතික හිමිකාරිත්වයක් නොමැති බව එම ආයතනය සඳහන් කර සිටියේය.

    එම ආයතනය තවදුරටත් ප්‍රකාශ කළේ, ප්‍රශ්නගත බහාලුම් හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කිරීමට තමන් එකඟ වූයේ එම බහාලුම් 130 තුළ කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ලියකියවිලි මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව බවය.

    එම බහාලුම් 130 න් 29 ක් මේවන විටත් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය විසින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කර ඇත. මෙම මෙට්ට වෙන් කර ඒවායේ වැස්ම, ස්පන්‍ය, ලොම් රෙදි සහ වානේ ඉවත් කර ඒවා වෙන්-වෙන්ව ඇසුරුම් කර Ceylon Metals සමාගමේ අවශ්‍යතාව පරිදි ප්‍රතිඅපනයනය කිරීම මෙම පිරිසැකසුම් ක්‍රියාවලියට ඇතුළත් වේ.

    කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත තමන් එම ඉතිරි මෙට්ට සිය වියදමින් කඩිනමින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා කටයුතු කරන බව එම ආයතනය සඳහන් කළේය.

    කොළඹ වරායේ ඇති බහාලුම් 102 සමග කිසිදු සම්බන්ධයක් නැත

    කොළඹ වරායේ ඇති බහාලුම් 102 සම්බන්ධව අදහස් පළ කරමින් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රකාශ කළේ, තම ආයතනය සහ ඉහත සඳහන් බහාලුම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. හේලීස් ෆ්‍රී සෝන් ආයතනයේ අධ්‍යක්ෂ අසංක රත්නායක මහතා, "මේ වන විට කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් 102 සම්බන්ධව කිසිදු ආකාරයක සබඳතාවක් තම ආයතනයට නොමැත" යනුවෙන් ප්‍රකාශ කළේය. "අප එම බහාලුම්වල ආනයනකරු හෝ භාරකරු හෝ ගබඩාකරණ සේවා සම්පාදකයා හෝ නොවේ."

    මේ අතර හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, "ආචාරධර්ම උපරිම අයුරින් ආරක්ෂා කරන සමාජ වගකීමකින් යුතුව කටයුතු කරන සමාගමක් ලෙස තමන් මවු රටට කසළ ආනයනය කිරීම වැනි ආචාරධර්ම වලට පටහැනි කිසිදු ක්‍රියාවක නිරත නොවන" බවය.

    ආයෝජන මණ්ඩලය මෙතෙක් තමන්ට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළ හේලීස් ෆ්‍රී සෝන් ආයතනය සිය අංගණයේ ගබඩාකර ඇති භාවිතා කරන ලද මෙට්ට පිරිසැකසුම් කිරීමේ දීර්ඝ ක්‍රියාවලිය තුළ ආයෝජන මණ්ඩලය සමග සමීපව කටයුතු කරන බව ද අවධාරණය කළේය.

    තවද, හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කර ඇති මෙට්ට මගින් කිසිදු පාරිසරික අවදානමක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමග ද සමීපව කටයුතු කරන බව එම ආයතනය සඳහන් කළේය.

    වසර 140ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන හේලීස් සමාගම මෙරට අපනයන ආදායමෙන් 3.53% කට දායකත්වය ලබාදෙයි. හේලීස් සමාගම 2017 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් වාර්තා කළ අතර මෙරට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් අතරින් එම කඩඉම පසුකළ ප්‍රථම සමාගම වන්නේය. එම සමූහය 2018/19 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 220 ක පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. හේලීස් සමූහය අඛණ්ඩව මෙරට වඩාත් ගෞරවාන්විත සමාගම් අතර ප්‍රමුඛස්ථානය රැක ගැනීමට සමත්ව සිටින අතර වසර ගණනක පටන් LMD ප්‍රමුඛ සමාගම් 100 අතර පළමු ස්ථානයේ රැඳෙයි. 2016 වසරේදී විශිෂ්ටත ම ආයතනික පුරවැසියාට පිරිනැමෙන "ග්‍රෑන්ඩ් ස්ලෑම්" සම්මානය ද හිමිකර ගැනීමට එම සමාගම සමත් විය. තිරසර බව සහ ආචාර ධර්ම රැක ගැනීම සඳහා දක්වන ලද කැපවීම නිසාම වසර පහක් පුරා විශිෂ්ටත ම ආයතනික පුරවැසි සම්මානය හිමිකර ගැනීම වෙනුවෙන් පිරිනැමුණු එම සම්මානය දිනා ගත් පළමු සමාගම ලෙස හේලීස් සමාගම ඉතිහාසයට එක් වන්නේය.

     

    මේ අතර ලංකා ආයෝජන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටින්නේ 2018 ජනවාරි මාසයේ දී මෙම සමාගමට දැඩි අවවාද කළ බවත්, ගිවිසුම් ප්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමටත්, අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙස දැන් වූ බවත්ය. ලංකා ආයෝජන මණ්ඩලය මේ සම්බන්ධයේ කළ කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කරුණු පැහැදිලි කිරීම

    පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අනාවරණය කරන ලද භාවිතා කරන ලද භාණ්ඩ ඇතුලත් බහාලුම් 102 ක් ආනයනය කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් විසින් නොවේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් වන හේලීස් ෆ්‍රී සෝන් (Hayleys Fee Zone) සමාගම වර්ෂ 2013 අංක 1 දරන පනත යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ අනුව වර්ෂ 2014 මැයි මස සිට ඔවුන් ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුල අන්තර් වෙළඳ කටයුතු කරගෙන යනු ලැබේ.

    වර්ෂ 2017 ඔක්තෝබර් මාසයේ දී හේලීස් සමාගම ප්‍රතිඅපනයනය කිරීම සඳහා පාවිච්චි කරන ලද මෙට්ට සහ බුමුතුරුණු ඇතුලත් බහාලුම් 130 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලදී. මෙයින් බහාලුම් 29 ක් මේවන විටත් ප්‍රතිඅපනයනය කරන ඇත. කෙසේ වෙතත් 2018 ජනවාරි වන විටත් ඉතිරි බහාලුම්වල ඇති භාණ්ඩ ප්‍රතිඅපනයනය නොකර අපනයන සැකසුම් කලාපය තුල ගබඩා කර තිබෙන බවට ආයෝජන මණ්ඩලයේ නිරීක්‍ෂණයට භාජනය විය. ඒ අනුව ආයෝජන මණ්ඩලය විසින් හේලීස් සමාගමට දැඩි අවවාද කරමින් කියා සිටියේ ගිවිසුම් ප්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමටත් අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසයි. ඊට සමගාමීව ආයෝජන මණ්ඩලය විසින් සමාගමේ සියලුම ආනයන තාවකාලිකව තහනම්කොට 2018 පෙබරවාරි අවසන් වීමට පෙර ඉතුරු සියලුම භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන ලෙස සමාගමට දන්වන ලදී.

    කෙසේවෙතත් සමාගම එය කිරීමට අපොහොසත්වී ඇති අතර විටින් විට ඒ සදහා නොයෙකුත් තාක්‍ෂණික සහ වෙනත් හේතූන් ඉදිරිපත් කරමින් සිටී.

    හේලීස් සමාගම පොරොන්දු වූ පරිදි මෙම භාණ්ඩ ප්‍රතිඅපනයන කිරීමට අපොහොසත් වීම නිසා ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කටයුතු කරන ලදී.