ලැයිස්තුගත සමාගමක සභාපති සහ ප්‍රධාන විධායක තනතුරු තනි පුද්ගලයෙකු අතට නොයන්නට සුරැකුම්පත් කොමිසමෙන් නව නීති

    July, 23, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන මූලික තනතුරු දෙක තනි පුද්ගලයෙකු විසින් දැරිය නොහැකි වන සේ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පියවර ගෙන තිබේ. මේ පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා උපදේශන පත්‍රයක් පිළියෙල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ ලිඛිත අදහස් 2019 අගෝස්තු 19 හෝ ඊට ප්‍රථමව ලැබීමට සලස්වන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දන්වා සිටී.

    වර්තමානයේ දී මෙරට ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත. ඒ අනුව ලැයිස්තුගත සමාගම්වල සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ යන තනතුරු එක් පුද්ගලයෙකු විසින් දරනු ලබන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිසම වැඩිදුරටත් කියා සිටී.

    දැනට කොටස් වෙ‍ළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 293 ක් ඇති අතර මෙයින් සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී/ විධායක සභාපති තනතුරු තනි පුද්ගලයින් විසින් දරන සමාගම් 49 ක් ඇති අතර සමාගම් 244 ක අදාළ බලතල වෙන්වෙන් පුද්ගලයින් විසින් දරනු ලබයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා උපදේශන පත්‍රයේ පළවන සටහනක් පහතින් දැක්වේ.