August, 2, 2019
"එදා මේ ජනතාවගේ සිතේ මහත් බියක් තිබුණා, ඔවුන්ව තමන් ජීවත් වූ නිවෙස් වලින් ඉවත් කරලා, ඉන්න හිටින්නට තැනක් නොමැති තත්ත්වයකට පත් කරයි කියලා. අද ඒ බිය නැති වෙලා තිබෙනවා. අපි එදා මොවුන් වෙනුවෙන් කරපු සටන අද දිනලා තිබෙනවා. නමුත් අපට මෙය මෙතනින් නවත්වන්න බැහැ. එදා පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරය තුලින් රටේ ස්ථාවරත්වයට, ආරක්ෂාවට යම් හානියක් ඇතිවුණා. තර්ජනයක් එල්ල වුණා. නමුත් අද රටෙ එම අස්ථාවරත්වය නැතිවෙලා, මුළු රටම එකමුතු වෙලා තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ සිංහල, දෙමල, බර්ගර්, මුස්ලිම්, මැලේ යන සියලු ජාතීන්ට එක්ව ජීවත්විය හැකි අනන්‍යතාවයක් රට තුළ ගොඩනැගීමයි. මේක තමයි අපි මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ තුළින් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් දැක්වූයේ, ඊයේ (01) පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤවීදියේ ස්ථාපිත කල මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. රු. කෝටි 700 ක වියදමකින් ඉදිකල මෙම මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද්දේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගිනි. මේ සදහා මූල්‍ය ආධාර ඉන්දීය රජයේ ටාටා සමාගමෙන් ලබාගෙන තිබේ. නිවාස ඒකක 626 කින් සහ කඩකමර 120 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් උසස් කිරීමේ මූලික අරමුණින් ඉදිකර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
"පවුල් 626 කට අද දීප්තිමත් අනාගතයක් ආරම්භ වෙනවා. රටක සංවර්ධනය කියන්නේ මේ ආකාරයේ කටයුතු සිදුකිරීමයි. වසර 5 කට කලින් මොවුන් ජීවත්වූ අනවසර නිවාස මොවුන්ට අහිමි වුණා. අද මොවුන්ට ආඩම්බරයෙන් ජීවත්විය හැකි නිවසක් ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇමතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. මෙම නිවාස ඉදිකිරීම වෙනුවෙන් කෝටි 700ක් පමණ වැය කර තිබෙනවා. ඉඩම් එක්ක බැලුවොත් මිලියන් 11,800 ක් පමණ වැය කරලා තිබෙනවා. එක් නිවසකට මිලියන 24 ක් පමණ වියදම් කරලා තිබෙනවා. මේක තමයි සැබෑ සංවර්ධනය. මේ වැය කර ඇති මුදලින් ගම්උදා 500 ක් පමණ කරන්න පුළුවන්. ලෝකය වෙනස් වන ආකාරයට රටේ සංවර්ධනයත් වෙනස් වියයුතුයි. පුංචි ලංකාව ලෝකයට බද්ධ වීමට නම්, බුද්ධිමත් පිරිස් එකමුතු වෙලා රට තුළ මේ ආකාරයේ සංවර්ධන කටයුතු සිදුකළ යුතුයි. විශේෂයෙන් ජනතාවගේ යටිතල පහසුකම් වර්ධනය කර දියයුතුයි.
අද රටේ සෑම කොනකම සීග්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතිනවා. අපි 2015 ජනවාරි 8 බාරගත්ත ආණ්ඩුව තුළ නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලා. දණගහපු, කඩාවැටුණ ආර්ථිකයක් සවිශක්තිමත් කරලා, රටේ එක්තැනකට සීමාවූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනගියා. කොළඹ රටේ කේන්ද්‍රස්ථානය කරගනිමින්, කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මීටත් වඩා සිදුකල යුතුයි. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කරවලා, කොළඹ ප්රමුඛ සමස්ත රටේ සංවර්ධනය ඉතා සීග්‍රයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම ඒකරාශී වෙලා ඒ සංවර්ධන ගමන ඉදිරියට ගෙනයායුතුයි. අහිංසක ජනතාවට සෙත සදමින්, රටේ සංවර්ධනය අඛණ්ඩව කරගෙන යාම තමයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකම අරමුණ වන්නේ" යැයි පැවසීය.
Video Story