August, 29, 2019
රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දින කොළඹ දී පැවසීය.
සැබෑ ලෙස රට ජාතිය බේරා ගැනීම සඳහා අපනයන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන පිරිසට පමණක්, රටේ අනාගතය පිළිබදව කතා කිරීමට අයිතිය තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යමන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, නුග සෙවන පරිශ්‍රයේ පැවති “බතික් ලංකා ප්‍රදර්ශනය” විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“දේශීය නිෂ්පාදන හා දේශීය ආයෝජන ශක්තිමත් කරමින් විදේශීය ආයෝජන ලබාගැනීම සඳහා අප පියවර ගත යුතුයි. රටේ අපනයන ඉක්මවා ආනයන ඉහල ගොස් තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීමේ දී ණය ලබා ගැනීමට හෝ එම අපනයන සීමා කිරීමට අපට සිදු වෙනවා.
මෙම ආනයන - අපනයන පරතරය පියවීමට සැම විටම ණය ලබාගැනීමට නොහැකියි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන, අපනයනය වර්ධනය කිරීම තුලින් අතිරික්තයක් ඇති කර ගැනීමට පියවර ගත යුතුයි. ලබන වසර 05 තුළ එවැනි විශාල අපනයන ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි.
සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ත්ෂේත්‍රයන් දෙස අවධානය යොමු කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කිරීමටත්, නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
අපනයන ආර්ථිකයකට ගමන් කර රට ඉදිරියට ගෙන යනවා ද, නැතිනම් පහළට ඇද වැටෙනවා දැයි මම ඔබෙන් විමසන්න කැමතියි. බොහෝ දෙනෙක් රට, ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් දේශපාලනයේ යෙදෙනවා. නමුත් රට, ජාතිය සැබෑ ලෙස බේරා ගැනීමට අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ඒ පිළිබඳව කතා කළ හැකි පිරිසට පමණක් රටේ අනාගතය පිළිබඳව කතා කිරීමට අයිතියක් තිබෙන බව කිව යුතුයි.”
ණය ලබාගත් මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා කිරීමෙන් රටට පළක් නොවන බව පැවසූ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා, එම විශාල ණය කන්ද මතු පරපුරට ඉතිරි නොකර ගෙවා දැමීමට නම් නිෂ්පාදන ඉහල නංවා අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව පෙන්වා දුන්නේය.
මීළඟ ජනාධිපතිවරණය ජය ගෙන 2025 වන විට ජනතාව බලාපොරොත්තු වන පොහොසත් රට ඇති කරන බවත්, එම පොහොසත් රට තුළ බතික් කර්මාන්තයට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් බතික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරණාරත්න පරණවිතාන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් අශෝ අලවත්තගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ නියෝජිත ලියා කාර්තිකා සාලි මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Video Story