ධනවාදයෙන් උපයාගත් ධනය සමාජවාදයෙන් බෙදාහරින සජිත්ගේ ආර්ථික න්‍යාය

    September, 3, 2019

    ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයක් බවත්, ධනවාදය හරහා උත්පාදනය කරනු ලබන ධනය සමසේ බෙදාහැරීමට සමාජවාදය අවශ්‍ය බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සඳුදා (02) මාතර හස්තිරාජගම උදාගම්මානය ජනතා අයිතියට පත්කරලීමේ උත්සව අවස්ථාවට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ අතර පසුගිය සතියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ, කේනිසියානු මොඩලය හා ෆෙඩ්රික් හයෙක් ගේ නව මොඩලය මිශ්‍රකර ගත් ආර්ථික මොඩලයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවයි.

    “එක අතකින් කේනිසියානු සමාහාර ඉල්ලුම් කළමනාකරණ මොඩලය තිබෙනවා. අනෙක් පැත්තෙන් ෆෙඩ්රික් හයෙක් (Frederich Hayek) ගේ නව මොඩලය තිබෙනවා. මගේ විශ්වාසය වන්නේ, ආර්ථික වර්ධනය සඳහා අපට මේ ආකෘති දෙකේ මිශ්‍රණයක් අවශ්‍ය බවයි.“

    “On one hand we have the Keynesian aggregate demand management model. At the other end we have the Frederich Hayek new model. I believe we need a mixture of these models to have the major attributes of economic growth.”

    ජෝන් මේනාර්ඩ් කේන්ස් සහ ෆ්‍රෙඩ්රික් හයෙක් මහා අවපාත යුගයේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකි. 2000 දශකයේ අග භාගයේ ගෝලීය මූල්‍ය අර්බුදයත් සමඟම 1930 ගණන්වල ඔවුන් ඉදිරිපත් කළ තර්ක පුනර්ජීවනය විය.

    1940 දී ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලද “How to Pay for the war" කෘතිය හරහා උද්ධමනය සම්බන්ධ මතය එළීදක්වන ලදී. එහිදී ඔහු ඉතා ප්‍රචලිත “උද්ධමන පරතරය “ (Inflation Gap) යන්න හඳුන්වා දුන්නේය. එනම් ආර්ථිකයෙහි පූර්ණ සේවා නියුක්ති ආදායම් මට්ටම ඉක්මවා යන සමස්ත වියදම් ප්‍රමාණයයි. උද්ධමන පරතරය වැඩිවත්ම උද්ධමනයේ තීව්‍රතාවයද ඉහළ යනු ඇත.

    මේ අතර කේන්ස් වැඩිදුරටත් පවසන්නේ, ධනවාදී ක්‍රමය විනාශ කර දැමීමට ඇති හොඳම ක්‍රමය මුදලේ අගය පිරිහීමට ඉඩ දීම යැයි ලෙනින් ප්‍රකාශ කර ඇති බවට සඳහන් බවයි. නොනවත්වා සිදුවන උද්ධමන ක්‍රියාවලියක් තුළින් ආණ්ඩුවලට රහසිගතව හා නොදැනෙන්නට පුද්ගලයන්ගේ ධනයෙන් සෑහෙන කොටසක් ඔවුන්ට අහිමි කිරීමට හැකියාව ඇති බව එහි සඳහන්ය.

    ෆ්‍රෙඩ්රික් හයෙක් විශ්වාස කළේ සමාජයේ සමෘද්ධිය සඳහා නිර්මාණශීලීත්වය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් හේතු වී ඇති අතර එය කළ හැකි වූයේ නිදහස් වෙළඳපොලවල් සහිත සමාජයක පමණක්ය යන්නයි.

    ආර්ථික විද්‍යාවේ ආධිපත්‍යය දැරූ කේන්සියානු විප්ලවය, හයෙක් ප්‍රතික්ෂේප කළේය. ඔහු සමාජවාදයට ද පහර දුන්නේය. ඔහුගේ මතය අනුව, ආර්ථිකයේ වඩාත් කාර්යක්ෂම දිශානතිය සඳහා වෙළෙඳපොළ මිල සංඥා සහ දිරිගැන්වීම් නිර්මාණය කරනු ඇත.

    මේ අතර ආර්ථික විද්‍යාවේ පියා වන ඇඩම් ස්මිත් මෙසේ කියා තිබේ.

    “කිසිම පුද්ගලයෙක්, මහජන ශුභසිද්ධිය වර්ධනය කිරීමේ අධිෂ්ඨානයකින් කටයුතු කරන්නේ නැත. ඔහුගේ අධිෂ්ඨානය ස්වාර්ථයම පමණි. මෙතැන්හි දී ඔහු වෙන අනෙකුත් අවස්ථාවල දී මෙන්ම “අදෘශ්‍යමාන හස්තය“කින් මෙහෙයවනු ලබන්නේ ඔහුගේ අධිෂ්ඨානයට සම්බන්ධ නොවූ අන්තයක් වන අවශේෂ අයගේ ශුභ සිද්ධිය ද සාක්ෂාත් වන අන්දමිනි.“

     

    පහත දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ධනවාදය හා සමාජවාදය සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ කතාවයි.

     

    “තමුන්නාන්සේලා විවිධ ආණ්ඩුවල විවිධ ආර්ථික ප්‍රතිපත්ති දැකලා තියෙනවා. මේ රටේ බහුතරයක් ඒ් විවිධ ප්‍රතිපත්ති තුළින් බැට කාලාත් තිබෙනවා. බොහෝ විට මේ රටේ ගම්නියම්ගම් නගරවල යනකොට ජනතාවගෙන් ඒන අදෝනාව මොකක්ද, "කොච්චර ආර්ථික වර්ධනය ගැන කතා කළත්, කොච්චර සංඛ්‍යාලේඛන ගැන කතා කළත්, මේවා මේ නගරයේ අපට දැනේන්නේ නැහැ. මේවා ගමේ අයට දැනෙන්නේ නැහැ." මිත්‍රවරුනි ඔය කතාව සත්‍යයක්. “

    “ඔබලා පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ හොදටම අහලා ඇති ආර්ථික සංවර්ධන වේගය සියයට 5යි කියනවා. ආයේ කියනවා සියයට 6යි කියලා. ඒ් දෙක කියන කොට ප්‍රතිපක්ෂ කට්ටිය කියනවා, ඔ්කෙන් වැඩක් නැහැ අපි ඔ්ක හත අට කරනවා කියලා. නමුත් ආර්ථික වර්ධන වේගය ඔය කොච්චර ඉහළ මට්ටමක තිබුණත්, මේවා ගමේ නගරයේ ඉන්න පවුල් පරපුරට, තරුණ පරපුරට, ඔබලාගේ මුදල් පසුම්බියට මේවා දැනෙන්නේ නැහැ. ඒහෙනං ආර්ථික වර්ධන ක්‍රමවේදයේ, ඒ් තුළ අඩුපාඩුකම් රැසක් තිබනෙවා. විෂමතාවයන් රැසක් තිබෙනවා.“

    “කාලයක් පුරාවටම දේශපාලඥයෝ මන්තරේ වගේ ජප කරනවා ආර්ථික වර්ධනය වේගය සියයට 5යි, සියයට 6යි, උද්ධමනය අඩුයි, ජීවන වියදම අඩුවෙලා, ජනතාවගේ අතේ තියෙන සල්ලි ටික වැඩිවෙලා, ඒහෙම තමයි දේශපාලඥයෝ කතා කරන්නේ. නමුත් අවසානයේ තමන්ගේ මුදල් පසුම්බිය දිග හැරලා බලන කොට, මුදල් පසුම්බියේ වෙනසකුත් නැහැ, මේ වෙනස ඇගටපතට දැනිලාත් නැහැ, හදවතට දැනිලාත් නැහැ, හදවතට තේරෙන්නේත් නැහැ.“

    “ඔය සියයට 5, සියයට 6, සියයට 7 ගැන කතා කරන කොට ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවම කියනවා, ආර්ථික වර්ධනයේ වැඩි මුදලක් භුක්ති විදින්නේ මේ රටේ පොහොසත්ම සියයට විස්ස. ජාතික ආදායමෙන් සියයට 54ක්ම භුක්ති විදින්නේ මේ රටේ පොහොසතුන් සියයට විස්ස. දුප්පත්ම සියයට විස්ස භුක්ති විදින්නේ සියයට 4යි සියයට 5යි කියන සොච්චම් ප්‍රමාණයක්. එතනින්ම හරි, ගමේ රටේතොටේ ජනතාව කියන කතාව.“

    “ආර්ථික වර්ධනය තුළින් ජාතික ආදායම ඉහළ යන කොට ඒ්කේ වැඩිම මස් රාත්තල යන්නේ මේ රටේ කෝටිපතියන්ට. වැඩිම ප්‍රතිලාභය යන්නේ මේ රටේ ධනවතුන්ට. ආර්ථික වර්ධන ක්‍රමවේදයෙන්ම මේ රටේ ඇති-හැකි, නැති-බැරි දෙකොට්ඨාශයක් නිර්මාණය වෙලා තිබෙනවා. පුංචි කොටසයකට ඔක්කොම ලැබෙනවා. බහුතරයට ලැබෙන්නේ සොච්චමක් විතරයි. හැම පුරවැසියෙක්ම සවිබල ගන්වන ආර්ථික සැලැස්මක් අපි ක්‍රියාත්මක කරන්නට ඔ්නේ. ඒ් සැලසුම් අප සතුව තිබෙනවා. ඒ් සැලසුම් හරහා අපි ඒක පැත්තකින් රටක් හැටියට ධනය නිර්මාණය කරන්නට ඔ්නේ. ධනය උපයන්නට ඔ්නේ.“

    “ඒ් ධනය උපයන හොදම ක්‍රමවේදය තමයි 'ධනවාදී ආර්ථික ක්‍රමය'. මහජනතාවට ශක්තිය ලබාදෙන්නට, සවිබල ගන්වන්නට එරටේ ධනයක් තියෙන්න ඔ්නේ. ධනය උත්පාදනය කරන ක්‍රමවේදය තමයි ඔ්‍ය ඉල්ලුම-සැපයුම හරහා, විවෘත ආර්ථික ක්‍රමය හරහා නිර්මාණය වන ධන උත්පාදන ක්‍රමවේදය. මුළු ලෝකේම මේක පිළිඅරන් තිබෙනවා. මමත් ඒ්ක පිළිගන්නවා. රටකට ධනය නිර්මානය කරන්න පුළුවන් හොදම ක්‍රමවේදය විවෘථ ආර්ථික ක්‍රමය.“

    “හැබැයි මිත්‍රවරුනි, විවෘත ආර්ථිකයෙන් ඒකතු වෙන ධනය, ඒකතු වුණායින් පස්සේ රටේ ජනතාවට සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කරගෙන, සම්පත්, වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ සවිබලගැන්වීම සම සේ බෙදායන්නට ඔ්නේ.“

    “ධනය උත්පාදනය කරන්නට ධනපති ක්‍රමය හොදයි. හැබැයි ධනය බෙදාහරින්නට ධනපති ක්‍රමය කිසිසේත්ම සුදුසු නැහැ. දුර්වලම ක්‍රමය තමයි ධනපති ක්‍රමය. ඒහෙනම් මොකද අපි කරන්න ඔ්නේ. ධනපති ක්‍රමවේදයෙන් රටේ සම්පත් ටික නිර්මාණය වුණාම, රටේ ආදායම වර්ධනය වුණාම, ඒ්වා බෙදාහරින්නට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නට ඔ්නේ. ඒතන්ට ඒන්න ඔ්නේ සමාජවාදය.“

    “සමාජවාදය තමයි හොදම ක්‍රමය නිපදවපු ධනය, සමසේ බෙදාහරින්න.“

    “වෙනත් වචනයකින් කියනවා නම්, මේ රටට සුදුසු ජනතාව පෙරටු කරගත්, ජනතාව හවුල් කරගත්, ජනතාව පෙරමග ගමන්කරුවන් කරගත්ත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි මේ රටට උචිත.“