රාමායනයේ පියමඟ සොයා ඉන්දියාවේ ප්‍රමුඛ සංචාරක ලේඛකයින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට

    September, 4, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාඩම්බර සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය, රාමායණ පුරාවෘත්තයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික සලකුණු නැරඹීම සඳහා විශේෂ චාරිකාවක් පසුගියදා සංවිධානය කළේය. ඉන්දියාවේ ප්‍රමුඛ සංචාරක ලේඛකයින් සහ ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙම චාරිකාව සංවිධානය කළ අතර එමගින් අතීතයේ සිට දෙරට අතර බැඳී ඇති රාමායන පුරාවෘත්තයට අදාල ස්ථාන දැක බලා ගැනීමට ,ගවේශණය කිරීමට සහ ගමනාන්ත දෙක අතර සංචාරය කරමින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලදී.

    ඒ අනුව සංචාරයේ පළමු දිනයේ දී රාම දෙවියන් සමඟ සමීපව බැඳී පවතින හලාවත මුන්නෙස්වරම් සහ මනවාරි කෝවිල් ඔවුන් විසින් නැරඹීය. ශ්‍රී ලාංකිකයන් විසින් ඉතාමත් භක්තියෙන් නිතර පැමිණෙන පුරාවෘත්තයේ සඳහන් ස්ථාන හා මෙම කෝවිල්වල ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඔවුන්ව විශ්මයට පත් කලේය. පළමු දිනය අවසන් වූයේ දඹුල්ලේ රාත්‍රිය ගත කිරීමෙනි.

    දෙවන දිනය ආරම්භ වූයේ මෙම කණ්ඩායම සිගිරිය නැරඹීමට රැගෙන යාමත් සමඟ ය. සීගිරිය කුවේර රජුගේ මාළිගාව යැයි විශ්වාස කෙරෙන අතර පසුව එය රාවණා රජු විසින් අල්ලා ගත් බව කියවේ. අද වන විට සීගිරිය, 5 වන සියවසේ දී කාශ්‍ෂප රජු විසින් ඉදිකරන ලද බලකොටුවක් බවට සැලකෙන අතර එහි සංස්කෘතිකමය සහ භෞතික හේතූන් මත විශේෂ වැදගත්කමක් ඇතැයි සලකමින් යුනෙස්කෝ සංවිධාන විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. මෙම කණ්ඩායම ත්‍රිකුණාමලයට පිටත්ව යාමට පෙර ඵෙතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානය ගවේෂණය කළහ.

    රාවණා රජු සිටි කාලසීමාවේ ඉදිකෙරුනු බවට විශ්වාස කෙරෙන තිරුකෝනේශ්වරම් කෝවිල මෙම සංචාරක ලේඛකයන් අතර ඉතා ජනප්‍රියම වූ අතර ශිව දෙවියන්ගේ දැඩි භක්තිකයෙකු යැයි විශ්වාස කරන රාවණා රජතුමා එම ස්ථානයේ භාවනා යෝගීව සිටි බව ද කියවේ. ඔහු විසින් ඉදිකරන ලද මුල් දේවමාළිගාව මුහුදේ ගිලී ඇති අතර වර්තමාන කෝවිල, පර්වතය මත ඉදිකර ඇත්තේ බොහෝ කලකට පසුවය. පසුදින සංචාරය ආරම්භයට පෙර ඔවුන් ත්‍රිකුණාමලයේ වෙරළ තීරයේ එක රැයක් රැඳී සිටීමෙන් අනතුරුව මධ්‍යම කඳුකරයේ සිසිල් දේශගුණය විඳ ගැනීම සඳහා පිටත් යන ලදී.

    සංචාරයේ තුන්වන දිනයේ දී ඔවුන් රම්බෝඩ ශ්‍රී භක්ත හනුමාන් කෝවිල නැරඹීමට ගිය අතර එය ශ්‍රී ලංකාවේ Chinmaya Mission විසින් ඉදිකරන ලදී. එහි අඩි 16 ක හනුමාගේ ප්‍රතිමාවක් ඉදිකර තිබේ. අනතුරුව ඔවුහු ගයාත්‍රි පීදම් වෙතද ගියහ. මෙය රාවණා රජුගේ පුත් මේඝනාත් ශිව දෙවියන්ට පුද පූජා දැක්වූ ස්ථානයක් සහ අද්භූත බලයක් ලබා ගත් ස්ථානයක් ලෙස විශ්වාස කෙරෙයි.

    සීතා අම්මාන් කෝවිල සංචාරකයින්ගේ සිත් ඇදගත් ස්ථානයක් වූ අතර එහි සුන්දර ස්ථාන මෙම පුරාවෘත්තය සමඟ වැදගත් සම්බන්ධයක් පවතියි. රාමා, ලක්ෂ්මන් සහ සීතා වෙනුවෙන් කැප කරන ලද මෙම කෝවිල සීතා දේවිය එම ස්ථානයට පැමිණීම සිහිපත් කිරීම සඳහා හනුමා දෙවියන් විසින් ඉදිකරන ලද්දක් යැයි විශ්වාස කෙරේ.

    මෙම සංචාරයේ වඩාත්ම ජනප්‍රිය දර්ශනය වූයේ රාමායන පුරාවෘත්තයේ සඳහන් ‘අශෝක් වතිකා’ ලෙස හැඳින්වෙන හක්ගල උද්භිද උද්‍යානය නැරඹීමයි. මෙය රාවණා රජු සීතා දේවියගේ දුක අඩු කර ගැනීම උදෙසා තෑගි කළ බව විශ්වාස කෙරෙන උද්‍යානයයි. අද වන විට මෙම උද්‍යානයේ ශාක විශේෂ 10,000 කට අධික සංඛ්‍යාවක් ඇති අතර රෝස මල් සහ විවිධ ඕකිඩ් සඳහා ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

    මෙම සංචාරය පිළිබඳව අදහස් දැක්වූ සංචාරක ලේඛිකාවක් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වන ලක්ෂ්මි ෂාරත් මහත්මිය මෙසේ පැවසීය. “ ශ්‍රී ලංකාවේ රාමායණ චාරිකාව සඳහා පැමිණීම සැබවින්ම දිව්‍යමය හා පුදුමාකාර අත්දැකීමක් වූණා. ඒ සඳහා බෙහෙවින් කෘතඥ වෙනවා. ඇත්ත වශයෙන්ම රට තරණය කර, සීතා සොයා ගැනීමට රාම, ලක්ෂ්මන් හා හනුමා පැමිණි මාර්ගවල අපි ගමන් කළා. නමුත් ඊටත් වඩා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා විවිධත්වය, විවිධ භූ දර්ශන, සංස්කෘතිය සහ ආහාරපාන පිළිබඳව තවදුරටත් සොයා බැලීමට හැකියාව ලැබුණා. මම නැවත පැමිණ ශ්‍රී ලංකාව ගැන තවත් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම සංචාරයේ දී කතරගම පෙරහැර සහ ඒ හා බැඳුණු කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර දැක බලා ගැනීමට ද සංචාරකයින්ට අවස්ථාව ලැබුණි. අවසාන නැවතුම වූයේ පුරාවෘත්තයට අනුව රාම දෙවියන්ගේ ගවේෂණය සඳහා සහාය දුන් විභීෂණ දෙවියන්ගේ වාසස්ථානය වූ කැලණි රජමහා විහාරය.

    තවද හෙරිටන්ස් කන්ඩලම, නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය, ට්‍රින්කෝ බ්ලූ සිනමන් සහ ටාජ් බෙන්තොට රිසෝර්ට් සහ ස්පා වැනි සුවිශේෂී හෝටල් වල අලංකාරය මෙන්ම ආගන්තුක සත්කාරය මෙම සංචාරකයින් පිරිස අතිශය සතුටට පත් කළේය. ජාතික ගුවන් සේවය වෙනුවෙන් මෙම සංචාරයේ භූමි මෙහෙයුම් සහ සැපයුම් කටයුතු එයිට්කන් ස්පෙන්ස් විසින් සිදුකරන ලදී.

    මෙම සංචාරය පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාව ආරක්ෂිත හා මිත්‍රශීලී ගමනාන්තයක් බව ලොවට දැනුම් දීමට හැකි අවස්ථාවක් වන අතර එය ජාතික ගුවන් සේවය ප්‍රයත්නයේ කොටසකි.