සෞදි පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙරට තෙල් මිලත් ඉහළට?

    September, 16, 2019

    පසුගිය සෙනසුරාදා සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදු සංකීර්ණයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යාමක් මේ වන විට වාර්තා වී තිබේ. මීට සුළු මොහොතකට පෙර, බ්‍රෙන්ට් බොරතෙල් වෙළඳාම ආරම්භ වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 20%ක ඉහළ යාමක් වාර්තා කළේය. මෙය පසුගිය වසර 28 ක කාලපරිච්ඡේදය තුළ දී තනි දිනක් තුළ සිදුවූ විශාලතම ඉහළ යාම ලෙසින් සැලකේ.

    1990 අගෝස්තු මාසයේදී ඉරාකය සිය දකුණු සීමාවේ අසල්වැසියා වූ කුවේටය ආක්‍රමණය කළ අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළට අහිමි වූ ඉරාක ඛනිජ තෙල් සැපයුමට වඩා මෙම ප්‍රහාරයෙන් ඛනිජ තෙල් වෙළෙඳපොළට සිදුවූ බලපෑම වැඩි බව බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දේ. එසේම එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, 1979 ඉස්ලාමීය විප්ලවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළට අහිමි වූ ඉරාන තෙල් නිෂ්පාදනයේ අලාභයට ද වඩා මෙම ප්‍රහාරයෙන් එල්ල විය හැකි බලපෑම ඉහළ බව සඳහන් වේ.

    මේ අතර ගෝලීය මූල්‍ය සේවා ආයතනයක් වන Morningstar හි පර්යේෂණ අධ්‍යක්ෂ Sandy Fielden පවසන්නේ හෙට වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 80 ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 75 ක් දක්වාත් ඉහළ යා හැකි බවයි. එය තීරණය වන්නේ ඇරම්කෝ සමාගමේ ඉදිරි පැය 48 තුළ සිදුවන දෑ අනුව බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

    ඇරම්කෝ සමාගමේ කටයුතු සති ගණනාවක් ඇණ හිටියහොත් තෙල් මිල තවදුරටත් ඉහළ යාම නොවැළැක්විය හැකි බව විශේෂඥයින්ගේ මතය වී තිබේ.

    මේ අතර මෙම ප්‍රහාරය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළට සැපයෙන ඛනිජතෙල් ප්‍රමාණය 5%කින් පමණ මේ වන විට පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් එක්සත් ජනපද ප්‍රධානී ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී ඇත්තේ ගෝලීය සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නම් සිය රටේ තෙල් සංචිත මුදා හරින ලෙසයි.

    පසුගිය ජූලි මාසයේ දී Fortune සඟරාව විසින් 2019 වසරේ ලොව වඩාත් ලාභදායීම සමාගම ලෙසින් සෞදි අරාබියේ Aramco සමාගම නම් කර තිබුණි. ඒ ඩොලර් බිලියන 110.9 ක ලාභාදායීත්වයක් සටහන් කිරීමත් සමඟිනි. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන ඇපල් සමාගම වාර්තා කර තිබූ ඩොලර් බිලියන 59.5 ක ලාභදායීත්වය හා සැසඳීමේ දී Saudi Aramco යනු කොපමණ බලගතු සමාගමක් දැයි වටහා ගත හැකිය.

    ශ්‍රී ලංකාවේ මේ වන විට ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලබන්නේ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අනුව තීරණය වන මිල සූත්‍ර ක්‍රමවේදයක් ඇසුරෙනි. එැබැවින්, දිගින් දිගටම ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ යාම කිසිසේත්ම වැළැක්විය හැකි කරුණක් නොවනු ඇත.