“ශ්‍රී ලංකාව තවමත් නිල්මිණි පාරාදීසයයි“ -විදේශිකයෝ කොළඹදී එක හඬින් කියති

    May, 20, 2015

    ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.

    ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර 26 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය.

    කොළඹ පැවති මෙම සමුළුවට රටවල් 27 ක් නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි 16 වනදා ආරම්භ වී අද (20) අවසන් විය.

    මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පවත්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් 29 දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි.

    ශ්‍රී ලංකාව විසින් වසරකට අපනයනය කරන මැණික්වල වටිනාකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව වී ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.

    මෙම සමුළුවට සහභාගී වූ මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා පැවසුවේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ලංකාවේ මැණික් කැණීම නුසුදුසු බවත් එවිට කුඩා මැණික් කර්මාන්ත කරුවන්ට පහර වැදෙන බවයි.

    කොළඹ මෙවර පැවති “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති මෙම සමුළුවේදී මැණික් වෙළඳාම පිළිබඳව අලුත් කරුණු රැසක් ඉගෙන ගත්බව ඔහු වැඩිදුරටත් කීය.

    සේයාරුව 01- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි.

    සේයාරුව 02- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman)

    සේයාරුව 03- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා.
    Gem--02Gem-03