CNN රිචඩ් ක්වෙස්ට් සමඟින් Cinnamon Future of Tourism Summit ඇරඹෙයි

    September, 23, 2019

    ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තයට ඇති අභියෝග ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය විය හැකි අවබෝධය සහ උපාය මාර්ග සාකච්ඡා කරමින් Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අද (23) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

    මෙම වසරේ සමුළුවේ විශේෂත්වය වන්නේ CNN ප්‍රවෘත්ති සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් ඊට එක්වීමයි.

    රිචඩ් ක්වෙස්ට් පසුගිය සිකුරාදා (19) ශ්‍රී ලංකාවට පැමිණි අතර සති අන්තයේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත කිහිපයක් වෙතටම ඔහු ගොස් තිබේ.

    ස්වභාවික විපත්, ත්‍රස්ත ප්‍රහාර, දේශපාලන අස්ථාවරත්වය වැනි සාධක ගණනාවකින් ලොව පුරා ආගන්තුක සත්කාරක කර්මාන්තයට තර්ජන එල්ල වී තිබෙන අතර ඒවා ජයගැනීම සඳහා අවශ්‍ය දැනුම සහ උපායමාර්ග සකස් කිරීම මේ වන විට කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වේ. ලොව ඉහළ පෙළේ විශේෂඥයින්ගේ දැනුම ලබාගනිමින් තිරසාර වර්ධනයක් සඳහා සංචාරක කර්මාන්තය රැගෙන යාම සඳහා පෙරමුණ ගැනීම Cinnamon Future of Tourism Summit සමුළුවේ අරමුණ වේ.

    අද (23) දිනය පුරාවට මෙම සමුළුව පැවැත්වේ.

     

    ඡායාරූප - Cinnamon Hotels & Resorts නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.