අර්බුදයක් අපතේ හරින්න එපා – රිචඩ් ක්වෙස්ට් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

    September, 24, 2019

    Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අමතමින් CNN ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට්, ශ්‍රී ලංකාවෙන් අපූරු ඉල්ලීමක් කළේය. ඔහු මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, එම අර්බුදය, අවස්ථාවක් කර ගැනීමට ඇති අවස්ථාව මග නොහැරිය යුතු බවයි.

    “මෙය වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රකාශයක්. බොහෝ වෙලාවට ඔහු මෙය කියන්න ඇත්තේ මකියාවේලි උපුටා දක්වමින්. එය කියැවෙන්නේ මේ විදියට.“

    Never waste a crisis

    (අර්බුදයක් අපතේ හරින්න එපා)

    “අපි සියලු දෙනාම දන්නවා, මෙයින් මූලික වශයෙන් කියවෙන්නේ කුමක්ද කියා. මේ වන විට මේ රටට පැහැදිලිවම අර්බුදයකට මුහුණ පෑමේ අවස්ථාව හිමිව තිබෙනවා. දැන් ඔබ තීරණය කළ යුතුයි ඒ ගැන කරන්නේ කුමක්ද කියා. එය කොහොමද හැඩගස්වා ගන්නේ. නිවැරදිම කියමන තමයි Never waste a good crisis. පවතින තත්ත්වය තුළ එය තරමක් දුරට ගළපාගත යුතුයි.“

    ඔහු මෙහිදී අදහස් කරන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තය අර්බුදයට පත්වීමත්, එය අවස්ථාවක් කර ගෙන යළි නැගී සිටින්නේ කෙසේද යන්නත් පිළිබඳවයි.

    රිචඩ් ක්වෙස්ට් මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග සහ මෙරට සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරික නායකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටියෝය. ඊයේ (23) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මෙම සමුළුව පැවැත්විණි.