රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා විශේෂ දීමනාවක්

    September, 25, 2019

    රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට අදාළව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගේ සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ සාමාජිකත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් 2019 මාර්තු මස 26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කරන ලදී. එකී අනුකාරක සභාව විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
    එසේම ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද රාජ්‍ය අංශයෙහි වැටුප් සමාලෝචනය පිළිබඳ විශේෂ කොමිෂන් සභා වාර්තාව මඟින් නිර්දේශිත, රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමෙහි 50%ක් 2020 ජූලි මස 01 දින සිටත්, ඉතිරි 50%ක වැඩිවීම 2021 ජනවාරි මස 01 දින සිටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 සැප්තැම්බර් මස 10 දින පැවති සිය රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
    ඒ අනුව, සමස්ත රාජ්‍ය සේවයටම සහන සැලසීම අරමුණු කරගනිමින් වැටුප් සමාලෝචනය පිළිබඳ විශේෂ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති වැටුප් වැඩිවීමෙන් 50%ක් සමස්ත රාජ්‍ය සේවය සඳහාම, 2020 ජනවාරි මස 01 දින සිට ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.