Shop for Sri Lanka – ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳ ව්‍යාපාරයට නව ජීවයක්

    September, 27, 2019

    මෙරට හොඳම ගනුදෙනු අවස්ථා පාරිභෝගිකයින් වෙත සපයන අතරතුර සිල්ලර වෙළඳාම් කර්මාන්තයේ සාමූහික සම්පත් යොදාගැනීමට සහ නව්‍යතා හා වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් සංවිධානගත වී සිටී.

    එම අරමුණු සැබෑවක් කරගැනීමේ අරමුණින් 2019 වසරේ දී සිල්ලර වෙළඳාමට නව ජීවයක් ලබා දීම පිණිස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය (SLRA) හරහා ඔවුන්ගේ ප්‍රමුඛතම උත්සවය ලෙසින් Shop for Sri Lanka ප්‍රචාරණ වැඩසටහන ආරම්භ කරනු ඇත. මෙම ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ දී රටේ ප්‍රමුඛතම සිල්ලර වෙළඳ සන්නාම මගින් පාරිභෝගිකයින් සඳහා ඇදහිය නොහැකි ප්‍රවර්ධන සමගින් විශේෂ දීමනා ද පිරිනමනු ඇත. පාරිභෝගික භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ, ගෘහභාණ්ඩ, පාවහන් සහ උපාංග, විද්‍යුත් වාණිජ්‍යය, සෞඛ්‍යය සත්කාර සහ තවත් දේ අතුරින් මහජනතාවගේ අවශ්‍යතාවට සරිලන තෝරාගැනීම් සිදු කරන්නට අවකාශ සලසාදෙමින් විවිධ අංශවල ප්‍රමුඛ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් බොහොමයක් මේ අවස්ථාවට එක් වනු ඇත.

    2019 ඔක්තොම්බර් 01 වෙනි දා කොළඹ දී දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම ජාතික ප්‍රචාරණ වැඩසටහන දින 45-60 දක්වා කාලයක් ආවරණය කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 34% ක්, රැකියාවලින් 14% ක් හා වාර්ෂිකව මිලියන 250කට අධික පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සඳහා සේවා සලසන ලංකාවේ සිල්ලර වෙළඳාම් අංශය, රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම කෙරෙහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකිරීම සඳහා සිය දායකත්වය එලෙසින් ලබා දේ.

    ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සිදත් කොඩිකාර මහතා පෙන්වා දෙන්නේ සිල්ලර වෙළඳාම ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි සියලු අංශවල ව්‍යාප්තව ඇති අතර එය රටෙහි ආර්ථික යහපත් භාවයෙහි පළමු පෙළ දර්ශකයක් වන බව යි.

    "සිල්ලර වෙළෙඳ කර්මාන්තයේ කාර්ය සාධනයට එරෙහි ඕනෑම අවහිරයක් මගින් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල වෙනවා" යැයි ඔහු පැවසීය. "එම නිසා මේ අතිශය වැදගත් අංශය ශක්තිමත් කිරීම හා අඛණ්ඩ නව ජීවයක් ලබා දීම අප විසින් අත්‍යවශ්‍යයෙන් කළ යුතු වනවා. මේ මූලාරම්භය මගින් රට පුරා ක්‍රියාත්මක වන අපගේ සාමාජිකයින්ට සහයෝගය ලබාදීම ඉලක්ක කොට තිබෙනවා. මේ මූලාරම්භය හරහා සිල්ලර වෙළඳාම් අංශයට නව ජීවයක් ලබා දී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය තත්වයෙහි යළි පිහිටුවීම පිණිස අපගේ උපරිම කැපවීම සහ සහයෝගය ලබාදෙන බවට සාමාජිකත්වය වෙනුවෙන් SLRA ප්‍රතිඥාවක් ලබාදෙනවා."

    සිල්ලර වෙළඳාමේ ආයෝජනය හා වර්ධනය සඳහා විභවතාවක් පෙන්නුම් කරන ගෝලීය සිල්ලර වෙළඳාම් සංවර්ධන දර්ශකයෙහි (GDRI) රටවල් 30ක් අතුරින් 12 වෙනි ස්ථානයට 2016 සහ 2017 වසරවල දී ශ්‍රී ලංකාව පත්විය.

    ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය, Shop for Sri Lanka ප්‍රචාරණ වැඩසටහන දියත්කිරීමේ පුරෝගාමී ජාතික වෑයම හා අත්වැල් බැඳගන්නා මෙන් තම සාමාජිකයින් නොවන සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් ඇතුලු සියලු සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ට හා අනෙකුත් පාර්ශවයන්ට ආරාධනා කර සිටී.

    මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ෂෙහාරා ද සිල්වා මෙනෙවිය 011-5588800 ඔස්සේ සම්බන්ධ කර ගත හැක.