ලංකාවේ බැංකුවලට ක්‍රෙඩිට් කාඩ්වලින් රු. බිලියන 114ක් හිඟයි

    September, 30, 2019

    2019 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇති මුළු හිඟ මුදල් වටිනාකම රුපියල් මිලියන 114,072 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම අගය 2019 ජූලි මස අවසානයේ දැක්වුණේ රුපියල් මිලියන 112,551 ක් ලෙසිනි.

    මේ අනුව 2019 අගෝස්තු මාසයේ දී ක්‍රෙඩිට් කාඩ් සඳහා හිඟ මුදල් රුපියල් මිලියන මිලියන 1,521කින් හෙවත් රුපියල් බිලියන 1.5කින් ඉහළ ගොස් තිබේ.

    මෙම වාර්තාවට අනුව දේශීය වශයෙන් ගෙවීම් සඳහා පමණක් භාවිතයට යොදා ගත හැකි ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් රුපියල් මිලියන 28,693 ක්ද, ජාත්‍යන්තර වශයෙන් ගෙවුම් සඳහා භාවිතයට ගත හැකි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා රුපියල් මිලියන 85,379 ක්ද අගෝස්තු මාසය අවසන් වන විට හිඟ වශයෙන් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ.

    මෙම සංඛ්‍යාලේඛනවලට අනුව දැනට නිකුත් කර ඇති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,773,161 කි. මෙයින් 21,200 ක් දේශීය වශයෙන් පමණක් ගෙවුම් සඳහා යොදා ගත හැකි ඒ වවා වන අතර 1,751,961 ක් ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් පියවීම සඳහා භාවිත කළ හැකි ඒවා වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා නිවේදනය කර සිටියේ 2019 නොවැම්බර් 01 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි, ණයපත් (Credit Cards) සඳහා අදාළ උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28ක් විය යුතු බවයි. වර්තමානයේ දී ඒ සදහා ඉහළ සීමාවක් නොමැති අතර ඇතැම් වාණිජ බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 32%ක් ඉක්මවා ද පොලී අයකරනු ලබන බව වාර්තා වේ.