නිවැරදි කළමනාකාරීත්වයක් තුළින් ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකියි – ආචාර්ය ගොඩහේවා

    October, 28, 2019

    පාඩු ලැබූ රාජ්‍ය ආයතන කිහිපයක්ම භාර ගෙන ඒවා ලාභ ලබන ලැබූ ආයතන බවට පත්කරලීමේ පුද්ගලික පළපුරුද්ද තමන් සතුව ඇති බවත්, ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකි බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. පසුගිය (25) දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේය.

    මෙහිදී ආචාර්ය ගොඩහේවා මහතා පැවසුවේ, පෞද්ගලික අංශයට කළ නොහැකි විශාල පරිමාණයයේ ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතන අවශ්‍ය බවත්, පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණිය යුතුය යන මුසාවට නොරැවටිය යුතු බවත්ය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවසීය.

    “මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කියලා තියෙන එක දෙයත් තමයි, රාජ්‍ය ආයතනවලට, විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ආයතනවල කළමනාකරණය වෘත්තීය මට්ටමකට ගේන්න ඕනේ කියන එක. පසුගිය කාලයේ ඉතිහාසය පුරාම රාජ්‍ය ආයතන පාලනය කරන්න සාමාන්‍යයෙන් පත් කරනු ලබන්නේ යම්කිසි දේශපාලන සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. ඒ අතර සමහර වෙලාවට හොඳ අය ඉන්නවා. බොහෝ විට මේවා පාලනයට හැකියාවක් ඇති අය නෙමෙයි ඉන්නේ. නමුත් අපි වෘත්තීය මට්ටමකින් මේවා කළමනාකරණය කරන්න පුළුවන් අය ඒවාට දැම්මොත්, ඇත්ත වශයෙන්ම මේ පාඩු ලබනවා කියන සෑම රාජ්‍ය ආයතනයක්ම ලාභ ලබන ඒවා බවට පත් කරන්න පුළුවන්.“

    “මේ වෙලාවේ ලංකාවේ වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ගමනාගමන මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය. මේවායින් දෙකක් මම පුද්ගලිකවම අධ්‍යයනය කරලා තියෙනවා. විදුලිබල මණඩලය සහ ශ්‍රීලංකන් ගුවන් සේවය. මේ දෙකම ලාභ ලබන මට්ටමට ගෙනල්ලා තිබුණා. ඒ ගෙනල්ලා තිබුණ එක තමයි දැන් පාඩු ලබන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ.“

    “විදුලිබල මණ්ඩලය 2014 දී 25% ක විදුලිබලය අඩු කළා. 2015 බිලියන 20 ක් ලාභ ලැබුවා. බිලියන 20 ක් ලාභ ලබපු විදුලිබල මණ්ඩලය මේ අවුරුද්දේ බිලියන 100ක් පාඩු ලබනවා. ලාභ ලබපු තැන ඉඳන් ඉස්සරහාට යනවා වෙනුවට පාඩු ලබන තත්ත්වයට පත්වුණේ පැහැදිලිවම කළමනාකරණයට කිසිම සැලැස්මක් නොතිබුණු නිසා. අවුරුදු 10කට විතර ඉදිරියට සැලසුම් කරලා තිබුණු විදුලිබල ජනන සැලසුම් සියල්ල නතර කළා. ඒ සියල්ල නතර කරලා, ඊළඟ විදුලිබල අර්බුදයක් නිර්මාණය කර ගෙන හදිසි විදුලිබලය මිල දී ගන්න පටන් ගත්තා, සාමාන්‍යයෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මිල වගේ දෙගුණයකට. එහි සෘජු පාඩුව ලැබුණේ විදුලිබල මණ්ඩලයට.“

    “ශ්‍රීලංකන් ගුවන් සේවය දෙස අවධානය යොමු කළොත්, අද තියෙන තෙල් මිල 2014 ට දාලා බැලුවා නම් 2014 දී ශ්‍රීලංකන් ගුවන්සේවය බිලියන 5 ක විතර ලාභ ලබනවා. එදා තිබුණේ ලෝකේ අධිකම තෙල් මිලක්. ශ්‍රීලංකන් ගුවන් සේවය 2014 වන විට ඉතාමත් පැහැදිලි සැලැස්මක් තිබුණා අනාගතය පිළිබඳ. ඔවුන් තේරුම් අරගෙන තිබුණා යා යුතු ගමනාන්ත මොනවාද කියලා. ඒ ගමනාන්තවලට යාමේදී ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවන ආකාරයේ ගුවන් යානා මිල දී ගත යුතුයි. ඒ ගුවන් යානා ඇණවුම් කරලා තිබුණා. ඒ ගුවන් යානා ආවා නම් අඩු තෙල් වියදමකින් ඔවුන්ට දුර යන්න පුළුවන්. මේ වගේ සියලු දේවල් සැලසුම් කර තිබිය දී තමයි මේ ආණුඩව ඇවිල්ලා ඒ කිසිදු සැලැස්මක් දිහා බලන්නේ නැතුව, ඒ ගුවන් යානා ඇණවුම් අවලංගු කරලා, බිලියන 17 ක වන්දියකුත් ගෙවලා අද මේ අවුරුද්ද වන විට බිලියන 50 ක විතර පාඩුවක් ලබන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.“

    “පාඩු ලබන රාජ්‍ය ආයතන කිහිපයක්ම භාර අරගෙන ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කළ අයෙක් විදියට පෞද්ගලිකවම මම දන්නවා මේ ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගේන්න පුළුවන්, හරි කළමනාකාරීත්වය දැම්මාම. ඊට අමතරව ඒ කළමනාකාරීත්වයට අවශ්‍ය දේශපාලන ශක්තිය ඉහළින් ලබා දුන්නාම.“

    “පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන්න ඔනේ කියන මහා මුසාවට රැවටෙන්න එපා. මේ රාජ්‍ය ආයතන අපිට අවශ්‍යයි. පෞද්ගලික අංශයට කරන්න බැරි දේවල් කරන්න රජ්‍ය ආයතන අවශ්‍යයි. විශාල පරිමාණයේ ආයෝජනවල දී රාජ්‍ය අංශය අවශ්‍යයි.“