November, 1, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 6,000 සීමාව පසුකරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2019 ජනවාරි 07 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි.
මේ අනුව අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,032.08 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 41.84 ක් හෙවත් 0.70%ක වර්ධනයකි. එසේම S&P SL20 දර්ශකය ඒකක 10.23කින් ඉහළ ගොස් ඒකක 2,990.34 ක් ලෙසින් සටහන් විය.
අද දිනය තුළ රු. බිලියන 1.78 ක පිරිවැටුමක් වාර්තා වූ අතර ඒ සඳහා දේශීය ආයෝජකයින්ගේ වඩාත් සක්රීය අයුරින් දායක විණි. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.62 ක් ලෙසින් සටහන් වූ අතර දේශීය විකිණුම් රු. බිලියන 1.49 ක් ලෙසින් වාර්තා විය.
දිනය තුළ විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය වඩාත් ඇල්මැරුණු ස්වභාවයක් ගත් අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 165.33 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 289.23ක් වශයෙන් සටහන් වුණි.
මේ අතර මෙම සතිය තුළ වාර්තා වුණු සමස්ත පිරිවැටුම රු. බිලියන 4.84 ක් වන අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.68 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.20 ක් ලෙසින් ද විදේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.15 ක් හා විදේශීය විකිණුම් රු. බිලියන 1.63 ක් ලෙසින් ද වාර්තා වේ.

කොටස් වෙළෙඳපොළ මේ දක්වා දත්තවලට අනුව මෙම වසර තුළ සියලු කොටස් මිල දර්ශකය 0.34%කින් පහළ ගොස් තිබේ.
Video Story