කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 2ක පිරිවැටුමක්. සියලු කොටස් ඒකක 4කින් පහළට

    November, 20, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (20) දිනයේ දී ඒකක 4.17 ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,138.59 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 දර්ශකයේ ඒකක 26.75 ක පහළ යාමක් දිනය තුළ දක්නට වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,036.16 ක් ලෙසින් වාර්තා වුණි.

    පසුගිය දින කිහිපය මෙන් අද දිනයේ දීද දේශීය ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙන ලදී.

    දිනය තුළ පිරිවැටුම රුපියල් බිලියන 2.04 ක් ලෙසින් සටහන් වූ අතර මෙයින් රුපියල් බිලියන 1.87 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රුපියල් බිලියන 1.25 ක් දේශීය විකිණුම් ලෙසත් සටහන් විය. කෙසේ වෙතත් අද දිනය තුළ ද විදේශීය මිල දී ගැනීම් සාපෙක්ෂව පහළ මට්ටමක පැවතුණු අතර එය රුපියල් මිලියන 167 ක් ලෙසින් සටහන් වුණි. දිනය තුළ විදේශීය විකිණුම් රුපියල් මිලියන 791 කි.

    අද දිනයේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල රු. 4.10 කින් (2.50%) පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම කෙරෙහි විශාල වශයෙන් බලපාන ලදී. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටසක අවසාන ගනුදෙනු මිල සටහන් වූයේ රු. 160 ක් ලෙසිනි. මීට අමතරව හේමාස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල්, සෙලාන්, සම්පත් යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස්  මිල දර්ශකයේ පහළ යාම සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 289න් සමාගම් 251 ක කොටස් අද දින ගනුදෙනු වී තිබුණි. 2019 වසරේ අද (20) දින දක්වා කාලපරිච්ඡේදය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය 1.42% කි.