HNB සමුහය රුපියල් බිලියන 14.6 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

    November, 22, 2019

    2019 වර්ෂයේ පළමු මාස 09 සඳහා රුපියල් බිලියන 8 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත් වී තිබෙන අතර එම කාල සීමාව සඳහා සමුහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 8.7 ක් ලෙස වාර්තා වෙයි. පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2019 වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභය රුපියල් බිලයන 3.2 ක් දක්වා වර්ධනය වී ඇති අතර තුන්වන කාර්තුවේ සමුහයේ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 3.6 ක් වාර්තා වෙයි.

    රටෙහි පැවති අවිනිශ්චිත වාතාවරණය හේතුවෙන්  මන්දගාමී ආර්ථික  වර්ධනය බැංකු ක්ෂේත‍්‍රය කෙරෙහි ද ප‍්‍රභල ලෙස බලපෑම් ඇතිකරන ලද අතර එය ණය ඉල්ලූම කෙරෙහිද බලාපෑම් ඇති කරන ලදී. කෙසේවුවත් ජංගම සහ ඉතිරිකිරීම් තැන්පතු (CASA deposits) ප‍්‍රමාණය රුපියල් බිලියන 270 දක්වා වර්ධනය කරගැනීමට බැංකුවට හැකි වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව ගෙවුණු මාස නවය තුළ ශුද්ධ පොලි ආදායම 11% කින් වර්ධනය කර ගැනීමට හැකි විය. එසේම ගෙවුණු මාස නවය තුළ ගාස්තු ආදායම පෙර වසරට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වූ අතර මන්දගාමී ආර්ථික ක‍්‍රියාකාරකම් සහ සංවර්ධන ව්‍යාපෘති නොමැතිකම හේතුවෙන් ඇපකර සහ ණය ගාස්තුද පහත වැටිණි.

    මේ පිලිබඳ අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා,‘‘ පසුගිය අපේ‍්‍රල් මස ඇතිවූ පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් ආර්ථිකය කෙරෙහි බොහෝ බලපෑම් එල්ල වූ අතර ඉන් බැංකු ක්ෂේත‍්‍රය ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රයන් යම් පසුබෑමකට ලක් වී තිබෙනවා. කෙසේවුවත් ක්ෂුද්‍ර සහ සාර්ව දර්ශක ක‍්‍රමයෙන් දියුණු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් අහිමි වූ ආර්ථික වර්ධන වේගය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා ”යැයි පැවසීය

    බැංකුවේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා  ”ආර්ථිකය සහ රට මේ වන විට තීරණාත්මක මොහොතක පවතිනවා. ජනාධිපතිවරණයෙන් පසු මෙම තත්ත්වය ස්ථාවර වී ධනාත්මක තත්ත්වයක් ඇතිවේ යැයි අප බලාපොරත්තු වෙනවා. ඒවගේම ශ‍්‍රී ලංකා ආර්ථිකයේ දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහාත් අවශ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමටත් විධායකය සහ ව්‍යවස්ථාදායකය අන්‍යේන්‍ය අවබෝධයෙන් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ප‍්‍රකාශ කළ යුතුයි.”

    ‘‘තවද ක්ෂේත‍්‍රයේ පොලී ආන්තිකයන් පීඩනයට ලක්ව ඇති අතර නව IFRS 9 ගිණුම්කරණ ප‍්‍රමිතිය සමඟ ඇතිවූ වෙළෙඳපල තත්ත්වය මත හානිකර ගාස්තු ඉහළ යාම මෙම අංශයේ අභ්‍යන්තර ප‍්‍රාග්ධන උත්පාදනයට ද බාධාවක් වී තිබෙනවා. ඒවගේම මෙම පසුබිම තුළ බැංකු ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඉහළ බදු පැනවීම ජාතික සංවර්ධනය කෙරෙහි ප‍්‍රතිවිරුද්ධ බලපෑමක් එල්ල කිරීමට සමත් වන අතර ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා බැංකු ණය දීම සීමා කිරීමට සිදු වනවා.”

    තවදුරටත් අදහස් දැක්වූ අලස් මහතා ‘‘කෙසේවුවත් පවත්නා බාහිර තත්ත්වයන් නොසලකා හරිමින් හැටන් නැෂනල් බැංකුව තම ඉලක්කයන් සපුරාලීම සඳහා පරිවර්තනීය ඉදිරි ගමනක් අරඹා එහි ගමන් කරමින් සිටිනවා. මෙහි ප‍්‍රධාන අරමුණ වෙන්නේ ව්‍යාපාර තිරසර බව සහිතික කිරීම වන අතර එය පද්ධති, ක‍්‍රියාවලි සහ පුද්ගලයින් කේන්ද්‍ර කර ගත් වැඩසටහනක් වෙනවා. එසේම පවත්නා වූ අයහපත් ආර්ථික තත්ත්වයක් හමුවේ වුවත් පසුගිය කාර්තු දෙක තුළ බැංකුවේ අක‍්‍රිය ණය සතුටුදායක මට්ටමින් පියවා ගැනීමට ද බැංකුව සමත් වී තිබෙනවා ’’යැයි පැවසීය.

    ගෙවුණු මාස නවය තුළ බැංකුවේ සමස්ත මෙහයුම් වියදම රුපියල් බිලියන 18 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 12.3 % ක ඉහළ යාමකි. එසේම තුන්වන කාර්තුව අවසන් වන විට ආදායම් පිරිවැය අනුපාතය 40% කට පහළ මට්ටමේ පවත්වා යාමට බැංකුව සමත් වී ඇති අතර රුපියල් බිලියන 19.3 ක මෙහයුම් ලාභයක් සහ රුපියල් බිලියන 13.4 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට ද සමත් වී තිබේ.2018 අවසන් කාර්තුවේ සිට පනවන ලද ණය ආපසු ගෙවීමේ බද්ද හේතුවෙන් බදු අනුපාතය පෙර වර්ෂයට සාපේක්ෂව 46.6% සිට 58.3% ක් දක්වා වැඩි වූ අතර එය සමස්ත බදු අනුපාතය ඉහළ යාමට හේතු වූ තිබේ. තවද ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) සහ ණයකර ආයෝජන සඳහා වූ නිදහස් කිරීම් ඉවත් කිරීම් ද මේ සඳහා බලපෑම් එල්ල කර තිබෙන අතර රුපියල් බිලියන 8 ක් වූ බදු පසු ලාභය තුලින් මේ සියල්ල පෙන්නුම් කරනු ලබයි.

    සමුහයේ සියලූ සමාගම් ගෙවණු මාස නවය සඳහා සමුහයේ ලාභදායිත්වය කෙරෙහි දායකත්වය ලබා දී ඇති අතර සමුහ මෙහෙයුම් ලාභය සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 20.8 ක් සහ රුපියල් බිලියන 14.6 ක් විය. සමුහයේ බදු වශයෙන් රුපියල් බිලියන 12.2 ක් ගෙවා ඇති අතර සමුහයේ බදු පසු ලාභය ආසන්න ලෙස රුපියල් බිලියන 8.7 ක් විය.

    හැටන් නැෂනල් බැංකුව

    වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරිනැමූ ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැකුව, යුරෝමනි සඟරාව මගින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරාගැනීම, බෑන්කර් සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට තෝරා පත් කරගැනීම, LMD සඟරාව මගින් Top 100 Club සඳහා නම් කිරීම මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක් නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’සම්මානය මගින් පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.

    මූඞීස් ඉන්වෙස්ටර් සර්විසස් වෙතින් ස්වෛරීත්ව සමගාමී ජාත්‍යන්තර ශේණිගත කිරීමක් ලබාගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම දේශීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වන අතර  ෆිච් රේටින්ග්ස් වෙතින් දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමද  ලබා ඇත.

    ඡායාරූප - HNB සභාපති දිනේෂ් වීරකෝඩි මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්  මහතා