ගිය වසරේ ශ්‍රීලංකන් අලාභය රු. බිලියන 44ක්. සමුච්ඡිත අලාභය රු. බිලියන 230 ඉක්මවයි. අඛණ්ඩ පැවැත්ම ගැන සැකයි – විගණකාධිපති

    November, 26, 2019

    2019 මාර්තු 31 දිනෙන් අවසන් වු වර්ෂය තුළ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 44,022.67ක ශුද්ධ අලාභයක් සිදුවී ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 230,590.07ක සමුච්ඡිත අලාභයක් ඇති බවත්, ඒ වන විට සමාගමේ ජංගම බැරකම් ජංගම වත්කම් ඉක්මවා ඇති බවත්, මුළු බැරකම් මුළු වත්කම් ඉක්මවා ඇති බවත්, එම ඉක්මවීම් පිළිවෙලින් රුපියල් මිලියන 186,339.26 හා රුපියල් මිලියන 177,556.23 ක් බවත් පෙන්නුම් කරනු ලබන බවත් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න පවසයි. ශ්‍රීලංකන් ගුවන්සේවයේ 2018/19 වාර්ෂික වාර්තාවෙහි විගණකාධිපතිවරයාගේ සටහන තබමින් ඔහු මෙසේ කියා සිටී.

    තවද 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ දී සමූහයට රුපියල් මිලියන 41,700.33ක අලාභයක් සිදුවී ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 223,488.73ක සමුච්ඡිත අලාභයක් ඇති බවත්, ඒ වන විට සමාගමේ ජංගම බැරකම් ජංගම වත්කම් ඉක්මවා ඇති බවත්, මුළු බැරකම් මුළු වත්කම් ඉක්මවා ඇති බවත් එම ඉක්මවීම් පිළිවෙලින් රුපියල් මිලියන 177,725.40 හා රුපියල් මිලියන 168,111.70 ක් බවත් පෙන්නුම් කරනු ලබන බව එහි සඳහන් වේ.

    මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම සිදුවීම් සහ කොන්දේසි, දක්වා ඇති අනෙකුත් කාරණා සමඟ, ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පෙන්නුම් කරන අතර එමඟින් සමූහයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව සැලකියි යුතු සැකයක් මතු විය හැකි බවයි.

    2019 අගෝස්තු 27 දින කැබිනට් අනුමැතිය සහ 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ව්‍යවස්ථාපිත විගණනය සඳහා ලබාගත් භාණ්ඩාගාර ලේකම් විසින් 2019 සැප්තැම්බර් 16 දින නිකුත් කරන ලද ලිපිය සැලකිල්ලට ගෙන “අඛණ්ඩ පැවැත්මක්“ ලෙස සිය මෙහෙයුම් දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා රජය සමාගමට දක්වන සහයෝගය සනාථ කරමින්, මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇත්තේ අඛණ්ඩ පැවැත්ම උපකල්පනය උපයෝගී කර ගනිමින් බවත්, මෙම කරුණු මත සිය නිගමනය තත්ත්වාගණනය කරු නොලබනු බවත් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කරයි.