ව්‍යාපාර සඳහා දැවැන්ත සහනයක්. වැට් අය කිරීමේ රු. මිලියනයේ සීමාව මිලියන 25ක් දක්වා ඉහළට

    November, 27, 2019

    ව්‍යාපාරවලින් වැට් බදු අය කිරීමේ සීමාව මාසිකව රුපියල් මිලියන 25 ක් දක්වා ඉහළ දමනු ලබන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙතෙක් එම සීමාව පැවතියේ මාසිකව රුපියල් මිලියන 1ක් ලෙසිනි. මේ අනුව ව්‍යාපාර ආයතනවලින් වැට් බදු අයකිරීමේ වාර්ෂික සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 ක් දක්වා පුළුල් කර තිබේ.

    “වැට් අයකිරීමේ දී පිරිවැටුම රුපියල් මිලියන 1ට තිබුණේ. දශලක්ෂයක පිරිවැටුමක් තිබෙන ආයතනවලින් තමයි වැට් බද්ද අය කළේ. එය 2019 දෙසැම්බර් 01 දින සිට රුපියල් මිලියන 25කට වැඩිනම් පමණයි වැට් බද්දට යටත් වෙන්නේ.“

    “ඒ නිසා ඉතා විශාල සුළු මධ්‍ය පරිමාණ සහ ඇතැම් විට සමහර මහා පරිමාණ ව්‍යාපාරත් වර්ෂයකට රුපියල් මිලියන 300 ක පිරිවැටුමක් නැතිනම් වැට් බදු ගෙවන්න යටත් වෙන්නේ නැහැ. ඒ බද්දට යටත් සීමාව ඔසවලා තියෙනවා.“

    “බද්දට යටත් වන සීමාව තිබුණේ මාසයකට රුපියල් මිලියන 1යි. එය රුපියල් මිලියන 25ට වැඩිකළා. වර්ෂයකට නම් රුපියල් මිලියන 300 යි“, යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.