එයාර්ටෙල් ලංකා TRCSL වෙතින් 900 MHz තරංග පරාසයෙන් සංඛ්‍යාත වෙන්කර ගනිමින් ජංගම දුරකථන සන්නිවේදනයේ නව මානයක් සනිටුහන් කරයි

    November, 28, 2019

    හඬ සන්නිවේදන  සහ දත්ත සන්නිවේදනයේ විප්ලවීය වෙනසක්

    ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම දුරකථන ජාලය වන භාරති එයාර්ටෙල් ලංකා (එයාර්ටෙල් ලංකා) ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) 900MHz තරංග සංඛ්‍යාත පරාසයෙන් 5MHz වෙන්කරවා ගත් බව නිවේදනය කර සිටියි.

    මෙම වෙන්කිරීම් නිසි  ''පරිපාලනමය පදනමක්” මත සිදු කරන ලද අතර පූර්වයෙන් ප‍්‍රසිද්ධියට පත්කරන ලද නිර්ණායක මත පදනම් වී ඇත. මෙම නිර්ණායකයන්ගේ අරමුණ වනුයේ  ''ජංගම දුරකථන මෙහයුම් සමාගම් හතරටම තම මෙහයුම්  ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ තරංගයන් හි සමාන සංඛ්‍යාත  අවස්ථා ලබාදීම වේ. එබැවින් අයදුම්පත් ඇගයීමේදී අසමානතාව අවම කිරීම සඳහා අදාළ තරංගයන් හි සමාන සංඛ්‍යාත ලබා දීම කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබා දී ඇත. එසේම  මැදිහත්වීම් වලින් තොර සංඛ්‍යාත සහතික කිරීමක් මත මෙම ඇගයීම් පදනම් වනු ඇත” යනුවෙන් එකී නිර්ණායකයන් වැඩිදුරටත් ප‍්‍රකාශ කරනු ලබයි.

    මේ පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරි ජිනේෂ් හෙජ් මහතා  ''අවසන් පාරිභෝගිකයාට වැඩි ප‍්‍රතිලාභ හිමිවන සහ ජංගම දුරකථන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නියුතු සැමට සම අවස්ථා හිමිවන ප‍්‍රවේශයක් ලබා ගැනීම පිලිබඳ විදුලි සංදේශන නියාමන කොමිසමට මාගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි. විනිවිද පෙනෙන ක‍්‍රියාපටිපාටියක් තුලින් අපට මෙම සංඛ්‍යාත ප‍්‍රදානය කර තිබෙනවා. සියලූම ජංගම දුරකථන සන්නිවේදන ආයතනයන්ට අදාළ වන සූත‍්‍රයක් මත තීරණය කර ඇති මෙම 5MHz සංඛ්‍යාතය ඊට අදාළ ගාස්තුව ගෙවීමෙන් පසු දැනටමත් භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා.” යැයි පැවසීය.

    මෙම සංඛ්‍යාතය මගින් පුළුල් ආවරණයක් ලැබෙන අතර එමගින් එයාර්ටෙල් පාරිභෝගිකයින්ට වැඩි හඬ සහ දත්ත සන්නිවේදන අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව උදා කරනු ලබයි. එයාර්ටෙල් හි විප්ලවීය ව්‍යාපාරික උපායමාර්ගයන් හි පළමු පියවර මෙය වන අතර කිසිවකුට අභිබවා යා නොහැකි පරිශීලක අත්දැකීමක් පාරිභෝගිකයාට ලබාදීම එයාර්ටෙල් හි අරමුණ වේ.