ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් එමිරේට්ස් සහ ඩිල්මා වසර 27 ක ශක්තිමත් බැඳීම සමරයි

    December, 13, 2019

    අඩි 40,000 ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමග එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර 27 ක දැඩි බැඳීම පසුගියදා උත්කර්ශවත්ව සමරන ලදී.

    මෙම සම්භාවනීය අවස්ථාව A380 ගුවන් යානය තුළ තිබෙන විවේකාගාරය (On-board Lounge) තුළදී පැවැත්වුණු අතර ඒ සඳහා ඩිල්මා ටී සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, ඩිල්හාන් ප‍්‍රනාන්දු මහතා සහ ඩිල්මා ටී සමාගමේ සමාරම්භක, මෙරිල් ජේ. ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙසැම්බර් 15 වනදාට යෙදෙන ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර ගුවන තුළ මෙවැනි වැඩසටහනක් පළමු වතාවට පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.

    ගුවන් මගීන්ට සහ ලොව පුරා පිහිටි එමිරේට්ස් මගී විවේකාගාර වලදී අග‍්‍රගන්‍යයේ තේ පිළිගැන්වීම සඳහා එමිරේට්ස් සහ ඩිල්මා වසර ගණනාවක් පුරා අත්වැල් බැඳගෙන තිබේ. අද වනවිට, එමිරේට්ස් විසින් සියළු දෙනාගේ රසට ගැලපෙන පරිදි ඩිල්මා තේ වර්ග 12 ක් පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙන අතර මේ අතරට එමිරේට්ස් ගුවන් යානා තුළ පිළිගන්වන විශේෂ ඩිල්මා තේ වර්ගයද ඇතුළත් වේ.

    ‘ආහාර සහ පානවල ඉහළම ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරමින් ගෝලීය තත්ත්වයේ ආහාර සත්කාරයක් ගුවන් යානා තුළදී මගීන්ට ලබාදෙන්න අප කැපවී සිටිනවා. අපි විසින් වසර 27 ක් පුරා ගුවන් මගීන්ට ඩිල්මා තේ ලබාදෙන්නේ ඉතාමත් ආඩම්බරයෙන් යුක්තවයි. එමගින් අපි ගුවන් මගීන්ට සුවිශේෂී වූ තේ අත්දැකීමක් ලබාදීමට සමත්වී තිබෙනවා,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් එමිරේට්ස් සමාගමේ කේටරිං අංශයේ උප සභාපති, ඩැරන් බොට් මහතා පැවසීය.

    මීට අමතරව, EK31 ගුවන් යානය තුළ ගමන්ගත් මගීන්ටද ලෝකයේ අග‍්‍රගන්‍ය ෆ්ලෙයාර් බාර්ටෙන්ඩින් සංදර්ශනයක් නැරඹීමේ අවස්ථාව හිමිවූ අතර එය පැවැත්වූයේ ෆ්ලෙයාර් බාර්ටෙන්ඩර් ශුරයෙකු වූ ටොමෙක් මලෙක් මහතායි. ඔහු විසින් ගුවන් මගීන්ට රස බැලීම සඳහා Dilmah Elixir නැමති රසවත් පානය සකසා මෙහිදී පිළිගන්වන ලදී.

    ඩිල්මා ටී සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, ඩිල්හාන් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අප උත්සාහ කරන්නේ එමිරේට්ස් මගීන්ට සුවිශේෂී වූ තේ සත්කාර අත්දැකීමක් ලබාදෙන්නයි. මේ සඳහා අප විසින් එමිරේට්ස් සංස්කෘතික උරුමය සමග බැඳුණු රස සහ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. අපි එමිරේට්ස් සමග එක්ව ගුවන් මගීන්ට මුදලට ලබාගත නොහැකි අතිවිශිෂ්ට තේ මිහිරක සුවිශේෂී අත්දැකීමක් අඛණ්ඩව ලබාදෙනවා.’

    එමිරේට්ස් විසින් සිය ගුවන් මගීන් වෙනුවෙන් දීර්ඝ කාලීන ඒකාබද්ධතාවයන් සමග ලෝකයේ අතිවිශිෂ්ට නිෂ්පාදන පිළිගන්වන අතර ඒ සඳහා දේශීය සැපයුම්කරුවන් සහ නිර්මාණකරුවන් සඳහා සහයෝගය ලබාදෙයි. එමිරේට්ස් සහ ඩිල්මා බැඳීම 1992 වසරේ ආරම්භ වූ අතර මේ වනවිට ලෝකයේ විශලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් ඩිල්මා තේ මහද්වීප හයක ගමනාන්ත 140 ක් වෙත මේ වනවිට රැගෙන යයි.

    එමිරේට්ස් විසින් සෑම වසරකම සිය පාරිභෝගිකයින් සඳහා ඩිල්මා තේ කෝප්ප මිලියන 33 ක් පිළිගන්වන අතර සෑම පන්තියක් සඳහා එකිනෙකට වෙනස් විශේෂ ඩිල්මා තේ වර්ග ලබාදෙයි. එමිරේට්ස් ගුවන් යානා තුළ පිළිගන්වන ප‍්‍රමුඛතම ඩිල්මා තේ වර්ගය වන්නේ එහි පළමු පන්තියේ මගීන් සඳහා පිළිගන්වන නාවලපිටිය දොඹගස්තලාව වතුයායෙන් නෙලා ගන්නා ‘ෆලවරි බ්‍රෝකන් ඔරේන්ජ් පෙකෝ 1 ලීෆ්’ යොදා සකස්කළ ‘සින්ගල් එස්ටේට්’ තේ සත්කාරයයි.

    එමිරේට්ස් ගුවන් යනා තුළ පිළිගන්වන තේ තෝරාගන්නේ පාරිභෝගිකයින් අතර රස පිළිබඳව තිබෙන ජනප‍්‍රියතාවය මතයි. පාරිභෝගිකයින් මේ වනවිට සුවතාවය කෙරෙහි දක්වන සැලකිල්ල වැඩිවීම හමුවේ එමිරේට්ස් විසින් පසුගියදා සිය ගුවන්තොටුපොළ මගී විවේකාගාර සඳහා සියඹලා, පොල් සහ වැනිලා වලින් සමන්විත ඇන්ටිඔක්සිඩන්ට් ඩිල්මා තේ නිෂ්පාදනයක් හඳුන්වා දෙන ලදී.

    එමිරේට්ස් ඉකොනොමි පන්තියේ මගීන් අතර ඩිල්මා සිලෝන් බ්ලැක් ටී වඩාත් ප‍්‍රචලිත අතර පළමු පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ මගීන් අතර මොරොක්කන් මින්ට් සහ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් තේ වඩාත් ප‍්‍රචලිත වේ. එමිරේට්ස් විසින් ව්‍යාපාරික පන්තියේ සහ ගුවන්තොටුපොළ මගී විවේකාගාරවල ඩිල්මා තේ වර්ග 06 ක් පිළිගන්වන අතර පළමු පන්තියේ මගීන් වෙනුවෙන් තවත් තේ වර්ග 06 ක් පිළිගන්වයි.