June, 10, 2015
සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින් සඳහා ඔවුන්ට හිමි සමස්ත ශේෂයෙන් සියයට 30 ක් ලබාගත හැක්කේ නිවසක් ඉදිකිරීම, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදීගැනීම, නිවාස දේපොළක් මිලදී ගැනීම, නිවාස දේපොළක් මත ඇති උකස් බේරුම් කිරීම හෝ අනුමත බැංකුවකින් ලබාගත් ණයක ඉතිරි මුදල බේරුම් කිරීම සඳහා යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
කම්කරු අමාත්‍යංශයේ ලේකම් හේරත් යාපා මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් පැවසුවේ මීට අමතරව, වෛද්‍ය ප්‍රතිකාර සඳහාද මෙම සියයට 30 ක මුදල ලබාගත හැකි බවයි.
මෙහිදී, සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයාට අමතරව ඔවුන්ගේ බිරිඳ, ස්වාමිපුරුෂයා සහ දූ දරුවන්ද ඇතුළත් වේ.
වෛද්‍ය ප්‍රතිකාර යන්නට හෘද සැත්කම්, බයිපාස් සැත්කම්, පිළිකා සඳහා ප්‍රතිකාර, වකුගඩු බද්ධ කිරීම හෝ සැත්කම්, සිසේරියන් සැත්කම් හා අනතුරක් සිදුවීම නිසා දින 14 කට වැඩි කාලයක් රෝහල් ගතකර ලබාදෙන ප්‍රතිකාර ඇතුළත් වනබව කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
නිවාස සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයාගේ ශේෂයෙන් සියයට 30 ක් නිදහස් කිරීමට වසර 10 කට නොඅඩු කාලයක් අරමුදලට දායක මුදල් ගෙවා තිබීම, දැනට සේවා නියුක්තවී සිටීම සහ තමන්ගේ ශේෂය රුපියල් ලක්ෂ 03 කට නොඅඩුවීම යන කරුණු සපුරාලිය යුතුවේ.
යම් හෙයකින් සේවක අර්ථ සාධක අරමුදලෙන් මීට පෙර නිවාස ණය ලබාගෙන තිබෙන සාමාජිකයින්ට මෙවර සියයට 30 ක ප්‍රමාණය ලබාගත හැක්කේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණි.
කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ වසර 10 ක අඛණ්ඩ දායක මුදල් ගෙවීමක් මේ සඳහා අවශ්‍ය නොවන බවත් වසර 10 ක් වරින් වර දායක මුදල් ගෙවා තිබීම ප්‍රමාණවත් වන බවයි.
මෙම සියයට 30 ක මුදල ලබාදෙන්නේ ණය මුදලක් ලෙස නොවන අතර මෙය ආපසු ගෙවීමට අවශ්‍ය නොවේ.
කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ නාරාහේන්පිට පිහිටි කම්කරු කාර්යාලයෙන් මේ සඳහා මූලික ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන සම්පූර්ණ කර භාරදුන් පසුව සාමාජිකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම මුදල් ගෙවීම සිදුකරන සවිස්තරාත්මක ඉල්ලුම් පත නිකුත් කරන බවයි.
අප වෙත අනාවරණය වන ආකාරයට මේ වනවිට මූලික අයදුම් පත් 25,000 කට ආසන්න ප්‍රමාණයක් සියයට 30 ක මුදල ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබේ.
කම්කරු අමාත්‍යංශයේ ලේකම් හේරත් යාපා මහතා වැඩිදුරටත් පැවසුවේ සාමාජිකයින් සියල්ලටම වුවද ඔවුන්ට හිමි සියයට 30 ක මුදල ලබාදීම සඳහා අමාත්‍යංශය සූදනමින් සිටින බවයි.
Video Story