මහ බැංකු අධිපති – වම ද, දකුණ ද?

    December, 23, 2019

    මේ වන විට මීළඟ මහ බැංකු අධිපතිවරයා ලෙසින් පත්වීම් ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සිකුරාදා (20) මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමත් සමඟ මුදල් නීති පනතේ විධිවිධාන අනුව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩබලන ප්‍රධානියා ලෙස පත්වීම් ලැබ ඇති බව වාර්තා වේ.

    ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීළඟ මහ බැංකු අධිපතිවරයා සඳහා වන අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බවයි. තවද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ සී.ජේ.පී. සිරිවර්ධන මහතාගේ නම ද මේ සමඟම කියැවෙමින් තිබේ. මීට අමතරව මහ බැංකු නිලධාරීන් නොවන තවත් කිහිප දෙනෙකුගේම නම් ද මීට සමගාමීව කියැවෙමින් පවතී.

    පසුගිය 2019 නොවැම්බර් 29 වැනි දින පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේ දී මීළඟ මහ බැංකු අධිපතිවරයා කවුරුන්දැයි යන වග, මාධ්‍යවේදියෙක් හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසා සිටියේය. එහිදී සිනහවකින් ප්‍රතිචාර දැක්වූ අධිපතිවරයා කිසිත් නොපවසා සිටීමට තරම් ප්‍රවේශම් විය. එම අවස්ථාවේ දී එම මාධ්‍යවේදියා වැඩිදුරටත් “ඔබේ වම් පස කෙනාද, දකුණු පස කෙනාද“ (your left or right?) යැයි විමසා සිටියේය. එහිදී ද සිනහවකට වඩා වැඩි ප්‍රතිචාරයක් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් නොලැබුණි.

    එම අවස්ථාවේ දී අදාළ මාධ්‍යවේදියා, “වම සහ දකුණ“ වශයෙන් අදහස් කරන ලද්දේ මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෝ හිටපු නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන ද හෝ යන වගයි. හිටපු නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා මහ බැංකුවෙන් විශ්‍රාම ගැනීමට පෙර, මාධ්‍ය හමුවල දී බොහෝ විට මහ බැංකු අධිපතිවරයාට දකුණු පසින් අසුන් ගෙන සිටි අතර වම් පස අසුන බොහෝ අවස්ථාවන් හිදී වෙන් වී තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙතයි.

    මේ අතර 2019 අංක 8 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන සිකුරාදා (දෙසැම්බර් 27) දින දැනුම් දීමට නියමිතය. මෙහිදී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එදිනට පෙර නව මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සිදුවනු ඇති බවයි.

    ඡායාරූපය - 2017 දෙසැම්බර් 28 දින පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේ දී හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට දකුණු පසින් හිටපු නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා සහ වම් පසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අසුන් ගෙන සිටි අයුරු.