කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය අත්හිටුවීම පිළිබඳ සාකච්ඡාවකට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා මහ බැංකු හා වාණිජ බැංකු ප්‍රධානීන් හමුවෙයි

    December, 25, 2019

    ඊයේ (24) දිනයේ දී අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද, වාණිජ බැංකු වල ප්‍රධානීන්ද, බැංකු ගණකාධිකාරිවරුන්ද, හමුවිය.

    කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (Small Medium Enterprise - SME) විසින් 2020 වසරේදී ගෙවිය යුතුව තිබු ණය වාරික වසරක කාලයක් තුලදී අත්හිටුවමින් පොලිය පමණක් ගෙවමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, ඒ හරහා මතු වීමට හැකිවී තිබුණු ගැටළු නිරාකරණය කරන ලදී.

    ඒ සමගම මීට පෙර බොල් ණය බවට පත්වී තිබූ ණය, 2020 වසර තුළදී පොලිය පමණක් ගෙවමින් නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව ක්‍රමවේදය ගැන එකඟත්වයක් එළඹී තිබේ.

    තවද, මෙම රැස්වීමේදී එකඟ වූ ආකාරයට ගනුදෙනුකරුවන් තම පොලිය නොවරදවා ගෙවන්නේ නම්, දේපල වෙන්දේසිය නතර කරන බවට බැංකු ප්‍රධානීන්ගේ එකඟත්වයද මෙම රැස්වීමේදී පලකර ඇත..

    මෙම ක්‍රමවේදය දියත් කරද්දී මතුවෙන ගිණුම් සහ විගණන ගැටලුද මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

    පසුගිය වසර කීපය තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අපහසුතාවයන් නිසා, අසීරුවට පත්ව තිබූ ව්‍යාපාර නැවත ගොඩ නංවමින් සහ ශක්තිමත් කිරීමෙන්, ඒවාට ආර්ථිකයට නිසි දායකත්වයක් ලබාදීමට හැකි වීමේ ක්‍රියාවලිය ගැන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අවස්ථාවේ දී කියා සිටියේය.