ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානලාභී වසරක නිමාව සනිටුහන් කරයි

    December, 30, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි සාර්ථකත්වය විදහා දක්වමින් ගෝලීය සම්මාන හතක් සමඟින් 2019 වසර අවසන් කරයි. ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිත කරලමින් තානාපති කාර්යභාරයක් සේ සිය වගකීමක නොපිරිහෙලා ඉටු කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන කාර්යභාරය මහජනතාවගේ සහ ගුවන් මගීන්ගේ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ. ලොව පුරා ප්‍රධාන සංචාරක හා ව්‍යාපාර සම්මාන උත්සව වල දී ශ්‍රීලංකන් ගුවන් සේවය, සන්නිවේදන විශේෂඥයින් සහ ජූරි සභිකයන් ගේ ඉතා විශිෂ්ඨ පිළිගැනීමට ලක්විය.

    මේ වසර ආරම්භයේ දී , ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වනු ලැබූ ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. එහිදී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ප්‍රයන්තයන් හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීය බව යළිත් වරක් විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් ගුවන් සේවය පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32 ක ට අධික සංඛ්‍යාවක් වෙතින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148 ක් විනිශ්චයට ලක්විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉලකක් කර ගනිමින් සිදු කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ‘first star’ සම්මානයක් මෙම සම්මාන උළෙලේ දී හිමි විය. එයි දී Airlines- corporate’ කාණ්ඩයේ පළමු තරු සම්මානය, ඉන්දියාව වෙත සිදු කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රූපවාහිනී සිනමා කාණ්ඩය යටතේ තවත් ‘first star’ සම්මානයකින් සහ මෙල්බර්න් මැරතන් තරඟයට අදාල වීඩියෝව සඳහා 2018 සඳහා “තෙවන තරු” ’සම්මානය හිමි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය හැකියාව ලැබිණි. මේ අනුව මෙම සම්මාන ප්‍රධානයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර අඛණ්ඩව දෙවන වරටත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙසක් දිනයට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී විශේෂ සංස්කෘතික උළෙලක් දියත් කරන ලදී. සංචාරකයින්ගේ පැමිණීම අඛණ්ඩව අඩුවෙමින් පවතින අවස්ථාවක රටේ ආරක්ෂාව යළි ස්ථාපිත කර ඇති බව එමගින් ලොවටම කියා පෑමටත්, විශාල ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත් එහි දී අවස්ථාව උදා විය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ශක්තිමත් ගෝලීය හඩක් ඇති ශ්‍රී ලාංකික ආයතනයක් ලෙස එම පණිවිඩය ලොවට ගෙන යාම අත්‍යවශ්‍ය විය. එමනිසා, මෙම ඛේදවාචකයෙන් මසකට පසු BIA වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් වෙත ආදරය කරුණාව, ත්‍යාගශීලිත්වය සහ බෙදා හදා ගැනීමේ ප්‍රීතිය විඳගැනීමේ අවස්ථාව ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදෙන ලදී.

    වෙසක් පොහොය දින තුල පිළිඹිබු වන සංස්‌කෘතිකමය චාරිත්‍ර , අධ්‍යාත්මික ගීත, විචිත්‍රවත් පහන් කූඩු සහ වෙසක් සැරසිලි වලින් ගුවන් තොටුපළ ආලෝකමත් කිරීමට ද ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබු අතර එය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්විය. එසේම ප්‍රණීත ආහාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ජනතාවට ස්තූති කිරීම සහ තවත් බොහෝ දේ තුළින් සාමයේ පණිවුඩය අවධාරණය කරන ක්‍රියාකාරකම් රාශියක් මෙම ව්‍යාපාරයට ඇතුළත් විය.

    මෙම වැඩසටහන සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විවිධ කලා හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය, ගුවන් යානා ඉන්ජිනේරුවන්, පරිපාලන කාර්ය මණ්ඩලය, විගණකවරුන් , ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය සහ ප්‍රවීන ගායන ශිල්පීන් ද සංචාරකයින් විනෝදාස්වාදයට පත් කිරීමට එක්වූහ.

    ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රජාවන් අතර එකමුතුකම හා සහජීවනය විදහා දැක්වීම සඳහා වෙසක් උත්සවය කේන්ද්‍ර කර ගත් මෙම වැඩසටහන ලොව පුරා සිටින මිලියන 7.6 ක ජනතාවක් නරඹා ඇති අතර යූ ටියුබ් සහ ෆේස්බුක් හරහා සජීවීව විකාශය මිලියන 1.2 ක් නැරඹිමද විශේෂත්වයකි. එම නිසාම මෙම වැඩසටහන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’ සම්මානයෙන් පිදුම් ලැබීය. එහි දී කටාර් එයාර්වේස් සහ වර්ජින් අත්ලාන්තික් යන ගුවන් සමාගම් විසින් මෙම කාණ්ඩය යටතේ තරඟ වැදුණු අතර ඒ අතරින් ශ්‍රීලංකන් අලෙවිකරණ ප්‍රයත්නය ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්නා ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 12 කට පසුව පසුගියදා කසකස්තානයේ ඇස්ටානා හි දී පැවති PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය දිනා ගත්තේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් සහ දෙරට අතර ආවේනික සමානකම් අත්විඳීමට සංචාරකයින් පොළඹවා ගැනීම අරමුණු කරගත් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (“Two Cities, One Spirit“) යන නමින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මෙම රන් සම්මානය හිමි විය.

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සමීප සම්බන්ධතාවය සැමරීමට සහ ගෞරව කිරීම වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” යන සංකල්පය නිර්මාණය කරන ලදී. මෙම සමස්ත ප්‍රචාරණ ව්‍යාපාර හරහා ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අති බහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකා දිවයිනේ සුන්දරත්වයට ආකර්ෂණය වූ ඕස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත දිනාගැනීම අරමුණු විය. මෙම නිර්මාණශීලී වැඩසටහන් තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතීන් තුළ පවතින එක හා සමාන ප්‍රසන්නතාවයන් මෙන්ම උද්යෝගයන් වන ක්‍රිකට්, ආහාර පාන,කලාව,ක්‍රිකට්, රළ මත ලිස්සා යෑම මෙන්ම වනජීවි සුන්දරත්වය යනාදි ලක්ෂණ දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ලදී.

    මෙහිදී වර්තමානයේ සංචාරකයින්ට නොනවතින සම්බන්ධතාව එනම් ගුවන් සේවා ජාලය හරහා ඉදිරි ගමනාන්තයක් දක්වා ව්‍යාප්ත කළ හැකියාව පවතින බව තහවුරු කෙරේ. මැද පෙරදිග හා ඉන්දියාව සිට කොළඹ හරහා මෙල්බර්න් වෙත වෙළඳපොල ප්‍රවර්ධනය කිරීමේදී මෙය භාවිතා කරන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් ඕමානයේ මස්කට් හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය ‘ලොව ප්‍රමුඛ ගුවන් සේවය’, ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (ව්‍යාපාරික පන්තිය), ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (පිරිමැසුම් පන්තිය)’ සහ ‘ලොව ප්‍රමුඛ සංස්කෘතික ගුවන් සේවය’ යන සම්මාන සඳහා ද නිර්දේශ වන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ඵෙතිහාසික මෙල්බර්න් මැරතන් උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරයි. වසරක 42 ක තරඟ ඉතිහාසය තුළ 37,185 ක වාර්තාගත ධාවකයන් පිරිසක් මෙවර ඉසව් 5 ක් ඔස්සේ තරඟ කළ අතර , ඒ අනුව ශ්‍රීලංකන් අර්ධ මැරතන් තරඟය මෙතරම් ධාවකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවති විශාලතම මැරතන් තරගය බවට පත්විය.

    ජාත්‍යන්තර වශයෙන් කීර්ති නාමයන් හිමිකර ගැනීමට සිය අලෙවිකරණ ප්‍රයත්නයන් සඳහා දක්වන සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳව නිර්මාණාත්මක ආයතන, ගෝලීය හවුල්කරුවන් සහ ආධාරකරුවන් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි.ගුවන් මගීන් ශ්‍රීලංකන් ගුවන් සේවය දක්වන පක්ෂපාතිත්වය සහ අනුග්‍රහය සෑම විටම ගුවන් සමාගම විසින් අගය කරනු ලබන අතර පවතින අභියෝග හමුවේ එය ගුවන් සේවයට විශාල ශක්තියකි. ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් වෙත මතකයේ රැඳෙන ගුවන් ගමනක් ලබාදෙමින් නවතම ගුවන් මාර්ග ගවේෂණය කිරීම දිගටම සිදුකරනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ඉතා සුහදව කටයුතු කරන නිර්මාණාත්මක නියෝජිතායතන, ගෝලීය හවුල්කරුවන්, ආධාරකරුවන් සහ ගුවන් මගීන්ට සිය අලෙවිකරණ ප්‍රයත්නයන් සඳහා දක්වන නොසැලෙන සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳව නැවත වරක් ස්තූතිවන්ත වෙමු. 2020 වසරේ දී ගුවන් සේවය සිය සම්මානලාභී ස්ථාවරය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන අතර, රටේ විවිධ මුහුණුවරින් යුත් සුන්දරත්වය ලොව වටා රැගෙන යමින් සම්මානලාභී ගුවන් සේවාව සතු ආවේණික ලක්ෂණ තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද අපේක්ෂා කරයි.