ඩොලර් බිලියන 5 ඉලක්කය කරා: ඩිජිටල් අපනයන උපායමාර්ගික මාර්ග සිතියම කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සමාලෝචනය කෙරේ

    August, 1, 2026

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින්, 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම සඳහා සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම, තහවුරු කිරීම සහ ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාව ගොඩනැගීම අරමුණු කරගත් “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව ජූලි 31 දින කොළඹ Cinnamon Life හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි.
    ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ GovTech Sri Lanka විසින්, ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ඩිජිටල් කර්මාන්තය නියෝජනය කරන ප්රධාන පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
    වැඩමුළුවේ සමාරම්භක අදහස් දැක්වීම් ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා, GovTech Sri Lanka සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ලෝක බැංකු සමූහයේ IFC ප්රධාන ක්ෂේත්ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි මහතා විසින් සිදු කරන ලද අතර කර්මාන්ත හා ව්යවසායකත්ව නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා සහ අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා, ඩිජිටල් ආර්ථික අමාත්යංශ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා ඇතුළු රාජ්ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
    ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය යටතේ, KPMG ආයතනයේ දේශීය හා ජාත්යන්තර උපදේශකයන් විසින් සකස් කරන ලද ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාව සහ යෝජිත උපායමාර්ගික මාර්ග සිතියම මෙහිදී ඉදිරිපත් කෙරිණි. ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, GovTech Sri Lanka සහ කර්මාන්ත සංවර්ධන කමිටුවේ දායකත්වයෙන් අදියර කිහිපයකදී සමාලෝචනය කර වැඩිදියුණු කරන ලද මෙම ලේඛන පිළිබඳව කර්මාන්ත ක්ෂේත්රයේ පුළුල් අදහස් ලබාගැනීම වැඩමුළුවේ ප්රධාන අරමුණක් විය.
    මානව සම්පත් හා අනාගතයට ගැළපෙන කුසලතා සංවර්ධනය, නවෝත්පාදන සහ ස්වාධීන වෘත්තිකයන් සවිබල ගැන්වීම, ගෝලීය වෙළෙඳපොළ ප්රවේශය සහ අපනයන වර්ධනය මෙන්ම තිරසර වර්ධනය සඳහා අවශ්ය ප්රතිපත්ති, ආයෝජන සහ යටිතල පහසුකම් යන ප්රධාන ක්ෂේත්ර ආවරණය කරමින් තේමාත්මක කණ්ඩායම් සාකච්ඡා සැසි කිහිපයක් පැවැත්විණි.
    එහිදී වාර්තාවේ පවතින නිගමන සහ යෝජනා සමාලෝචනය කිරීමට අමතරව, හඳුනාගෙන නොමැති පරතරයන්, නව යෝජනා, ක්රියාත්මක කිරීමේ ප්රමුඛතා, ආයතනික වගකීම්, සාර්ථකත්වය මැනීමේ දර්ශක සහ එක් එක් පාර්ශ්වයට ලබාදිය හැකි ප්රායෝගික දායකත්වය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
    විශේෂයෙන්ම ශ්රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ගෝලීය වශයෙන් ස්ථානගත කළ යුතු ආකාරය, කෘත්රිම බුද්ධිය හේතුවෙන් කර්මාන්තයේ ව්යාපාරික ආකෘති සහ රැකියා භූමිකාවන් වෙනස්වන ආකාරය, ඩිජිටල් නිෂ්පාදන හා බුද්ධිමය දේපළ මත පදනම් වූ ඉහළ වටිනාකමක් සහිත අපනයන වර්ධනය කිරීම සහ දේශීය නවෝත්පාදන ගෝලීය පරිමාණයට ගෙන යාම සඳහා අවශ්ය ක්රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.
    මෙම උපායමාර්ගික මාර්ග සිතියම මඟින් ශ්රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ ජාත්යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම, ගුණාත්මක රැකියා සහ ව්යවසායකත්ව අවස්ථා උත්පාදනය කිරීම, දේශීය ඩිජිටල් නිෂ්පාදන හා සේවා ගෝලීය වෙළෙඳපොළ වෙත ප්රවේශ කරවීම සහ කලාපයේ ප්රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ශ්රී ලංකාව ස්ථානගත කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ ක්රියාකාරී රාමුවක් සැපයීමට අපේක්ෂා කෙරේ.
    වැඩමුළුවේදී කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයන් සහ අනෙකුත් පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා ඇතුළත් කරමින් මාර්ග සිතියම තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය. එහිදී ප්රමුඛ ක්රියාමාර්ග, වගකිවයුතු ආයතන, ක්රියාත්මක කිරීමේ කාලරාමු සහ ප්රගතිය මැනීමේ දර්ශක පැහැදිලිව හඳුනාගත්, ක්රියාත්මක කළ හැකි ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම අපේක්ෂාවයි.
    මෙම ජාතික වැඩමුළුව සඳහා තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා ක්ෂේත්රයේ ප්රමුඛ සමාගම්, කර්මාන්ත හා වෘත්තීය සංගම්, නවෝත්පාදන ව්යවසායකයන්, ආරම්භක ව්යාපාර, ආයෝජකයන්, ස්වාධීන වෘත්තිකයන්, විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන, රාජ්ය ආයතන, ශ්රී ලාංකික විදේශගත වෘත්තිකයන් සහ ජාත්යන්තර සංවර්ධන හවුල්කරුවෝ රැසක් සහභාගී වූහ.