2020න් පසු 6.5%ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක්

    December, 30, 2019

    ආර්ථික ක්‍රියාකාරකම්වල පුනර්ජීවනයත් සමඟ 2020 වසරේ දී 4%-4.5% ත් අතර දක්වා අගයකින් ආර්ථිකය වර්ධනය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ 2020න් ඔබ්බට 6.5%ක් ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනු ලබන බවයි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්තා කළ සියයට 1.5ක වර්ධනයෙන් අනතුරුව, 2019 වසරේ තෙවන කාර්තුව තුළ දී සියයට 2.7ක අඩු වේගයකින් වර්ධනය විය.

    කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සුළු වශයෙන් සියයට 0.4කින් වර්ධනය වූ අතර, සේවා සහ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 2.8කින් සහ සියයට 3.3කින් වර්ධනය විය.

    වර්ධනය වූ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන කෙටිකාලීන ක්‍රියාමාර්ගවල සහාය ඇතිව ඉදිරියේ දී ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවරව වැඩිදියුණු වේ යැයි අපේක්ෂා කෙරෙන බවත් සුදුසු මැදිකාලීන සහ දිගු කාලීන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම තුළින් මෙම වර්ධන ප්‍රවණතාව තිරසාරව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් කියා සිටී.