December, 30, 2019
කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමූහ සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල අද (30) දිනයේ දී පෙර දිනයට සාපේක්ෂව 24% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියේය.
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් ආදායම අනුව දෙවැනියට විශාලතම සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විශාලතම විදෙස් ව්‍යාපාර ඒකකය වන කාම්බෝජයේ ක්‍රියාත්මක Prasac Microfinance සමාගම විකුණා දැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය කිරීමත් සමඟම පසුගිය දෙසැම්බර් 12 දින සමාගමේ කොටසක මිල රු. 128.00 ක් දක්වා 12.28%කින් ඉහළ ගියේය.

මේ අනුව සති දෙකක කාලයක් තුළ දී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලෙහි වර්ධනය 60%කට ආසන්න වේ.
මේ අතර පසුගිය (26) දා The Korea Herald පුවත් සේවය වාර්තා කර සිටියේ දකුණු කොරියාවේ KB Kookmin Bank විසින් කාම්බෝජයේ Prasac Microfinance සමාගමේ LOLC හෝල්ඩිංග්ස් හි හිමිකාරීත්වය මිල දී ගැනීමට එකඟ වී ඇති බවයි.
ඒ අනුව LOLC හෝල්ඩිංග්ස්, Prasac Microfinance හි 70%ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන අතර එය ඩොලර් මිලියන 603.4කට දකුණු කොරියාවේ KB Kookmin Bank විසින් මිල දී ගනු ඇත. KB Kookmin Bank මෙහිදී වැඩිදුරටත් පවසන්නේ Prasac Microfinance හි ඉතිරි 30%ක කොටස් ප්‍රමාණය ඉදිරි වසර 2ක කාලපරිච්ඡේදයක් තුළ දී මිල දී ගැනීමට කටයුතු කරනු ලබන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (27) කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටියේ Prasac Microfinance Institution Limited හි කොටස් අලෙවිය සම්බන්ධයෙන් කාම්බෝජ ජාතික බැංකුවෙන් පූර්ව අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවයි.
එලෙස අනුමැතිය ලබාගැනීම සහ ගනුදෙනුව සම්පූර්ණ වූ වහාම විස්තරාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් කියා සිටී.

Video Story