ජයග්‍රාහී වසරකට කොළ එළි දල්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ 2019 සාර්ථකව නිමා කරයි

    January, 1, 2020

    ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.79 ක පහළ යාමක් වාර්තා කළ ද සමස්තයක් වශයෙන් ගත් කල 2019 වසරේ දී 1.27% ක වර්ධනයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු 2019 වසර සඳහා සාර්ථක නිමාවක් සටහන් කරන ලදී. කෙසේ වෙතත් S&P SL20 දර්ශකය 2019 වසර් තුළ දී 6.32%ක පහළ යාමක් වාර්තා කර තිබේ.

    2019 වසරේ දී සියලු කොටස් මිල දර්ශකයේ මෙලෙස ධනාත්මක ප්‍රවණතාවක් වාර්තා වන්නේ 2018 වසරේ දී 5% ක කඩා වැටීමක් වාර්තා වුණු තත්ත්වයකින් පසුවය.

    මේ අතර 2019 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 711 ක දෛනික සාමාන්‍ය පිරිවැටුමක් වාර්තා වන අතර වසර තුළ ශුද්ධ විදේශීය ගලා යාම් රුපියල් බිලියන 11.72 ක් ලෙසින් වාර්තා වේ.

    ඊයේ (31) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,129.21 ක් ලෙසින් වාර්තා විය. වසර ආරම්භයේ දී මෙම අගය සටහන් වූයේ ඒකක 6,052.37 ක් ලෙසය. වසර තුළ ඒකක 5,199.98 ක් දක්වා පහළ අගයකට ද සියලු කොටස් මිල දර්ශකය වැටී තිබුණි.

    2019 ජූලි 15 දින රුපියල් බිලියන 9.35 ක දෛනික පිරිවැටුමක් වාර්තා වූ අතර එය පසුගිය වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු පිරිවැටුම ලෙසින් වාර්තා වේ.

    2019 ජනවාරි 04 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 68.77 ක් දක්වා පහළ වැටුණු අතර එය 2019 වසර තුළ පමණක් නොව පසුගිය වසර 10 ඇතුළත දී පවා වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම ලෙසින් සටහන් වී තිබිණි.

    මේ අතර හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා සිය ධූරයේ දිවුරුම් දුන් 2019 නොවැම්බර් 18 දින කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 ක හෙවත් 1.77%ක සුවිශේෂී පිබිදීමක් වාර්තා කරන ලදී.