‘ද ෆිනෑන්ස්‘ රු. බිලියන 25 ක හිමිකම් ආයෝජනයකට අභිලාෂයන් කැඳවයි

    January, 2, 2020

    අර්බුදයට ලක්ව ඇති මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ හි හිමිකම් ආයෝජනයක් සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. 2019 දෙසැම්බර් 31 පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දී මෙම තීරණය ගෙන ඇත.

    මෙහිදී සමාගම අනාවරණය කර සිටින්නේ අවම හිමිකම් ආයෝජනය රුපියල් බිලියන 25 ක් බවයි.

    මේ පිළිබඳ පුවත්පත් දැන්වීම ප්‍රකාශයට පත් කර දින 14 ක් ඇතුළත ඒ සඳහා අභිලාෂයන් කැඳවනු ලබන බවත්, ආයෝජකයා විසින් සිය ආයෝජනය සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය හා ආයෝජකයාගේ විශ්වාසනීයත්වය පිළිබඳ තහවුරු කිරීම් සහ ආයෝජනය තුළින් බලාපොරොත්තු වන දෑ ආදිය පිළිබඳ තොරතුරු ද දැක්විය යුතු බවත් ‘ද ෆිනෑන්ස්‘ වැඩිදුරටත් කියා සිටී.

    මෙරට පැරණිතම මූල්‍ය සමාගම වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2019 පෙබරවාරි මාසයේ දී කියා සිටියේය.

    2019 ඔක්තෝබර් 23 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.

    මේ අතර 2019 නොවැම්බර් 25 දින නිවේදනයක් නිකුත් කරමින් ‘ද ෆිනෑන්ස්‘ සමාගම පැවසුවේ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සමඟ ද සමාගමට ආයෝජනයන් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් මේ වන විට ආයෝජකයින් තිදෙනෙකු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්ය. එබැවින් සිය බලපත්‍රය අවලංගු කිරීමෙන් වළකින ලෙසද ද ෆිනෑන්ස් සමාගම මහ බැංකුවෙන් ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත් ‘ද ෆිනෑන්ස්‘ සමාගම සාකච්ඡා පවත්වන ආයෝජකයින් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව 2019 නොවැම්බර් 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේය.