මූල්‍ය නගරයේ බැංකු ද ඇතුළත් නව බැංකු පනත 2021 දී බලාත්මක කිරීමට පියවර

    January, 6, 2020

    මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කළ අතර, 2021 වසරේ දී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. අද (06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති මහාචාර්ට ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා,

    “යෝජිත පනතේ ප්‍රධාන අංග අතරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා එකම ආකාරයේ බලපත්‍රයක් හඳුන්වාදීම, බැංකුවල විශාලත්වය හා ඒවායෙහි මෙහෙයුම්වල ස්වභාවය යනාදියට අනුකූලව බැංකු නියාමනයන් හි සමානුපාතිකත්වය ඇති කිරීම, විදේශීය බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ උපසමාගම් ලෙස ලියාපදිංචි කිරීම සහ ඒවාට බාහිර අහිතකර බලපෑම්වලින් සිදුවන බලපෑමෙන් මුදාලීම, බැංකු ශාඛා සහ අනෙකුත් බැංකු ඒකක පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම, පාරිභෝගික ආරක්ෂාව, තැන්පතු රක්ෂණය හා බැංකුවල යහපාලනය ශක්තිමත් කිරීම, අක් වෙරළ බැංකු ඒකකයේ සහ දේශීය බැංකු ඒකකයේ මෙහෙයුම් එකම ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ කිරීම, සහ නිරාකරණය, බලාත්මක කිරීම හා අධීක්ෂණ කටයුතු ඇතුළත් වේ. තවද නව බැංකු පනත මගින් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත බැංකු සඳහා රෙගුලාසි ඇතුළත් වේ.“