January, 7, 2020
සිය කාම්බෝජ මූල්‍ය හස්තය වන Prasac Microfinance අයිතිය විකුණා දැමීමේ ප්‍රවෘත්තිය තහවුරු කරමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ඊයේ (06) දින නිවේදනයක් නිකුත් කරන ලදී.
එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එහි සෙසු කොටස්කරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දකුණු කොරියාවේ KB Kookmin Bank සමඟ කොටස් මිල දී ගැනීමේ හා කොටස්කරුවන්ගේ ගිවිසුමකට එළඹ තිබේ. මේ සඳහා කාම්බෝජ ජාතික බැංකුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත වේ.
මෙම ගනුදෙනුවට අනුව තමන් විසින් දරනු ලබන Prasac Microfinance හි 70% ක කොටස් ප්‍රමාණය සඳහා ඩොලර් මිලියන 603 ක මුදලක් සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම වෙත ලැබෙන අතර එය කාම්බෝජ ජාතික බැංකුවේ අනුමැතිය පරිදි ඩොලර් මිලියන 422 ක් හා 2022 වසරේ දී ඩොලර් මිලියන 181 ක් වශයෙන් හිමිවනු ඇත.
Prasac Microfinance යනු කාම්බෝජයේ ක්‍රියාත්මක විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන අතර ඒ සඳහා වසරේ දී LOLC සමූහය 2007 වසරේ දී ආයෝජනය කරන ලද්දේ සිය ප්‍රථම විදෙස් ආයෝජනය ලෙසයි.
LOLC සමූහය මේ වන විට මියන්මාරය, පිලිපීනය, ඉන්දුනීසියාව, සැම්බියාව හා නයිජීරියාව යන රටවල් දක්වා සිය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබේ. එසේම කාම්බෝජයේ ක්‍රියාත්මක LOLC හි තවත් අනුබද්ධ සමාගමක් වන LOLC Cambodia PLC, එරට සිව්වැනියට විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වේ.
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් 6 වැනියාට විශාලතම සමාගම වේ.
Video Story